Skip to main content

ජීවිත කාමරය අස් කළ දවසක්!

 දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප්රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව්යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද්රව්ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එකත් එකට ම දැන් මං ගැන කිසිම හැඟීමක් නැති ඒ් කෙල්ලන් ද මං කළ ගොංකම් කියලා හිතනවා ඇති. වර්තමානයට හැඟීම් ඇති කරන්නේ නැති වෙලා මට තවත් ඒවා තියාගෙන ඉඳීමේ තේරුමක් නොපෙනුන නිසා ඒවා ඔක්කමත් වීසි කළා. තවත් පරණ වීම නිසාම වැඩක් නැති බඩු මුට්ටු තොගයක් විසිකලා. ඊළගට කවදාවත් කියවන් නැතිව, බොරු පණ්ඩිතමානයක් එක්ක තියාගෙන හිටිය පරණ පොත් තොගයක් ම විසි කළා. සමහර කුණු මට ඇති වැඩකට වඩා අනිකාට ප්රදර්ශනය කිරීමට තියාගත්ත ඒ්වායි කියලා මට හිතුණා.

කොහොමහරි අන්තිමට මට ම හිතාගන්න බැරි විශාල කුණු කන්දරාවක් එළියේ ගොඩ ගැහිල තිබ්බා. අපොයි! මේවත් එක්ක ද මම මෙච්චර කාලයක් හිටියේ කියලා කුණුගොඩට ම ගිනි තියලා දැම්මා. ඊට පසසේ මම මුළු කාමරය ම මකුළු දැල් කඩලා සබන් දාලා හොඳට හේදුවා. අන්තිමට කාමරයේ ඉතුරුවුණේ මේසයකුයි, පුටුවකුයි, ඇඳකුයි, පොත් ටිකකුයි, ඇඳුම් පැලඳුම් කීපයකුයි විතරයි. ආ! තව පොඩි කණ්ණාඩි මේසයක් තිබ්බා. එච්චරයි.
ඒ වෙනකොට හවස්වෙලා. නාලා එහෙම කාමරය ඇතුළට ආවම මට දැනුණ නිරවුල් සැහැල්ලු හැඟීම් ඊට කලින් මට කවදාවත් දැණිලා තිබුන්නෑ. වැඩි ආත්ම විශ්වාසයක් එක්ක මම වඩා වැඩිලා ( mature) කියලා මට හිතුණා. මට ඇති නැති හා හැකි නොහැකි දේවල් ද ඒවා තියන තැන් ගැන ද දැන් මම වඩාත් නිරවුල් කියලා මට හිතුණා. අන්න ඒ හැඟීම් විඳිමින් වරෙක උත්තරීතරයි කියලා හිතුව දැන් දැවී අළුවෙලා තිබුණ මගේ ම ජීවිතයේ කැලිකසළ දෙස බලාගෙන මම තේ කොප්පයක් බොන්න පටන් ගත්තා. එතකොට මට එක පාරටම වගේ ආපු අදහසක් තමයි අර කාමරයට දුන්නා වගේ සුද්දයක් ජීවිතයට ම දීලා දාන්න බැරි ඇයි කියලා. ඇයි බැරි? අර කාමරය සුද්ද කරනකොට ‘වටිනා දේවල්’’ කසළ බවට පරිවර්තනය කළ න්යායන් ම ජීවිතය හැඩි කළ කුණු හොයන්නත් හරියට ම ගැළපෙන බව මට තේරුම් ගියා.
ජීවිතයේ කුණු මූලික කොටස් දෙකකින් යුක්තයි. එකක් වැඩක් නැති වැඩ, අනික වැඩක් නැති මිනිස්සු. වැඩක් ඇති නැති බව මනින්නේ මොන පදනම මත ද කියන සංකීර්ණ කාරණය දිග් ගැස්සීම වළක්වන්න, මම ඒක කෙටියෙන් පහසුව තකා ‘මට මානුෂික නොවු මිනිසුන් හා දේවල්’ කියා හදුන්වනවා. (මානුෂික-Compassion and empathy) මොකද අප කරන්නා වූ සියලු ම දේවල්වල අවසාන ඵලය විය යුත්තේ මානව දයාවයි. මානව දයාවෙන් අවසන් නොවන්නා වූ හෝ ඒ් දෙසට නොයන්නා වූ කිසිවක් මිනිසාට අවශ්ය නෑ යන්න තමයි මගේ මූලික පදනම වුණේ.ආදරය!
හැබැයි මට වැඩක් නැති කුණු තව එකෙකුට වැඩක් තියෙන්න පුළුවන් ,අර මම කාමරයෙන් එළියට විසි කරපු කුණු වගේ . ඒක වෙන ම කතාවක්. කල්පනා කරනකොට මට තේරුණ දේ තමයි වැඩක් නැති මිනිස් රොඩු ටික විසිකරලා දාන්න පුළුවන් නම් වැඩක් නැති වැඩ තොගයක් එතැනින් ම නැති වෙන බව. ඒ නිසා ‘තොප තුඩ තුළට කිරි රස දිය හැර වැදිය’ කියා මිනිස් කසළ විසි කිරීමෙන් ජීවිත කාමරය සුද්ද කරන්න පටන් ගත්තා.
පර්යේෂණයක් විදියට ඉස්සෙල්ල ම මම ඒ වෙනකොට ඇසුරු කරපු මිනිස්සුන්ගේ සම්පූර්ණ නම් ලිස්ට් එකක් හැදුවා. ඇසුරු කිරීම කියලා මේ සඳහා මම අදාළ කරගත්තේ මගේ ජීවිතයේ ඇඳුම් පැලඳුම් වල සිට මම ගන්නා විවිධාකාර තීරණ හා ක්රියාකාරකම්වල දී ඔවුන් සිටිනා බව සලකමින් ඔවුන් සමඟ විවිධ තලවලින් තරහා කරගන්නැතිව හිතවත්කම් පවත්වා ගෙන යාමට මම උත්සහ කරන පිරිසයි. සාමාන්යයෙන් ‘නෑදෑ හිතමිතුරන් අසල්වැසියන්’ ආදී ලෙස ඔබ ඇසුරු කරන සමීප සමාජය හැදී ඇත්තේ මොවුන්ගෙන්.
මුලින් ම මේ ලිස්ට් එක මතක හැටියට දෙසීයකට ආසන්න වුණා. අර කාමරයෙ ලට්ටලොට්ට අරගෙන ඇයි මම මේවා තියාගෙන ඉන්නේ කියලා මගෙන් ම ඇහුවා වගේ මේ ලිස්ට් එකේ මිනිස්සුන්ගේ නමුත් එකින් එක අරගෙන ඒ්ක ම ඇහුවා. මෙන්න ඒ් මිනිස්සු මම තියාගෙන ඉඳලා තියන හේතු: කාලයක ඉඳන් ඔහෙ දන්න නිසා,කාලයකට කලින් මට යම් උදව්වක් දෙකක් කරලා තියන නිසා ( කළගුණ කොස්ට් එක),කවදාහරි මට වැඩකට ප්රයෝජනවක් කියා හිතන නිසා, සමාජයේ බලපුළුවන්කාරකම් පෙන්න ගෙන ඉන්න නිසා මගුල් තුලාවල දී ප්රදර්ශනයට.ඊළඟට උප්පත්ති හේතුවෙන් හා පවුලේ සහ ඥාතීන්ගේ කසාද හේතුවෙන් නෑයින් වීම ආදී මගේ පාලනයකින් හා තෝරා ගැනීමකින් තොරව මගේ ජීවිතය ඇතුළට ඇවිත් ‘අපේ’ සහ ‘මගේ’ යටතේ ගොඩ ගැහුණු මිනිස් කසළ. කසළ වන්නේ ඒවා ආදරය හෝ මානුෂික හරයන් සමඟ සැබෑවට බද්ධ වී නැති අවම වශයෙන් මාව මනුෂ්යයකු ලෙස තේරුම් ගැනීමේ උත්සහයක් පවා නැති පීඩාකාරී,අනිකාට වද දෙන සම්බන්ධතා නිසයි. බොහෝවිට මොවුන් පැවුතුනා වූ කිසියම් ප්රශ්න නොකල රටාවකට හෝ සම්ප්රධායකට අනූව මා දෙස බලන-මාව අසුරු කරන මිනිසුන්. මේ අයගෙන් විවිධ උදව් උපකාර කළ අය හිටියත් ඔවුන් ඒ් උදව් කිරීම ආයෝජනයක් වගේ නැවත නැවත මතක් කරමින් හෝ විවිධ ලෙස මට එරෙහිව බලයක් ලෙසට පාවිච්චි කරමින් මාව හැසිරවීමට යොදාගනිමින් සිටි නිසා මට ඒ් උදව්වල වටිනාකම් නැතිවෙලා තිබුණා. ඊට අමතරව මේ බහුතරය මට ඇති භෞතික දේවල හා ‘සමාජ තත්ත්වයන්’ එක්ක තරඟකාරී මානසිකත්වයක් ඇතිකරගෙන ඒ දෘෂ්ටිකෝණයෙන් මාව විනිශ්චය කරමින් මාවත් එවන් මෝඩ තරඟකරුවෙකු බවට පත් කරන්න හදමින් හිටියා. ඔවුන් කවුද යන්න වඩාත් හොඳින් හසුවුණේ, මගේ පරාජයන්,අසාර්ථකත්වයන්, දුර්වලකම් ‌කීවොත් මාව පහතට දමන්නට බලා ඉන්න ඒ් නිසා මගේ ජය විතරක් පෙන්නන්න තියගෙන ඉන්න ප්රේක්ෂකාගාරයක් බව මට තේරුණ නිසයි. අන්න ඒ්ක ම ඔවුන්ගේ අකාරුණිකත්වය මනින්න ප්රමාණවත්.
රාජ්යය විසින් අත්හළ සමාජයක විවිධාකාර වුවමනාවන් කර ගැනීමට මානුෂික මතුපිටක් තවරා ඇති අපේ ජීවිත කා දමන ව්යාජය මිනිස් සම්බන්ධතා . අර්ථවත් මානුෂික සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකි මේ සියවසේ දරුණු ම ඛේදවාචකයට හසු වී තව කෙනෙකුගේ ජීවිතය තුළ සැබෑ මානුෂික අර්ථයක් බවට පත්වන්නට නොහැකිව අනිකාගේ කුණු බවට පත්ව අනාථවු මිනිසුන්,ඔවුන්ගේ අති බහුතරයක් කරන මගුල්තුලා ශ්රමදාන හා ආගමික ක්රියාකරකම් ද ඔවුන් වගේම ව්යාජ ඒ්වායි. එවැනි මහා මිනිස් කුණු තොගයක් මානසික,ආර්ථික ධාරිතාවක් යට කරලා මගේ කෙටි ජීවිත කාලය තුල නඩත්තු කර පවත්වා ගෙන යාමෙන් පෙන්වන්නේ මගේ නොමේරු බව, අඥානත්වය,දීන බව හා සමස්තයක් ලෙස ආධ්යත්මික හිස්බව විනා වෙනත් කිසිවක් නෙමේ. ඔවුන් ගැන මම සලකා බලනවා යනු ඔවුන්ට මාව පාලනය කිරීමට අවසර දීමයි.ඉහත ආකල්ප රටාව ඇති, කෙනෙකු වටා ඉන්නා මේ සමීප සෙට් එක තමයි රටේ සියදිවි නසාගැනීමේ වාර්තාව තියන්නට දායක වෙලා තියෙන ‘මිනීමරුවන් කට්ටිය’! ඉතින් ඔවුන්ව කසළ සේ විසි කිරීම විදියට මම අදහස් කළේ,කිසිම හිංසාවක් කිරීම නෙමේ, සරලව, මම කරදර නොවන්නාවූ කෝටි ගාණක් මේ ග්රහලොවේ ඉන්නා මිනිස්සු ගොඩට ඔවුන්ව එකතු කර දැමීමයි. ඒ කෝටි ගණන වෙනුවෙන් මම යමක් කරන විට පමණක් ඔවුන් ද ඊට ඇතුලත්.
කාමරයේ කසළ න්යාය මගේ අවධානයට ගෙනාපු වැදගත් ම කාරණය නම් අපේ ජීවිත ඇතුළෙ ඉන්නා මිනිසුන් සියල්ල කවුද, අපි එක්ක මොනවද කරන්නේ කියලා අපි කිසියම් බැරෑරුම් පරීක්ෂාවකට ලක් කරලා තියනවද කියන එකයි. එහෙම පරීක්ෂා කර සුද්ද කිරීමේ සම්පුර්ණ අයිතියක් ඔබට තියනවා. අවශ්ය නම් ඕනෑ ම මහ රෑක ඇහැරී ඔබ අසල නිදා සිටින ගැහැනිය හෝ මිනිසා එතැනට ආවේ කොහොමදැයි තරමක් දාර්ශනිකව හොයා බැලීමට වුව ඔබට අයිතියක් තියනවා.
අන්න ඒ් අර්ථයෙන් අර අසුරු කළවුන්ගේ ලිස්ට් එක ඒ එකසිය හැත්තෑ ගානක ඉඳන් සීය,පණහ, විස්ස දහය තරම් පහළට ඇවිත් ඒදා නැවතුණේ අට දෙනෙක්ගෙන්.
ඒ වගේ ම මේ සිද්ධිය මටත් තව එකෙකුගේ ජීවිතය ඇතුළෙ කුණු කසළ නොවී ඉන්නට වඩාත් බැරෑරුම්ව හිතන්න පෙලඹුවා. මෙය එක්තරා විදියකට පුද්ගල විමුක්තිය පිළිබඳ
පර්යේෂණාත්මක අභ්යාසයක් වගේ කියලා මට හිතුනා.
ජීවිතයට උපතින් අර්ථයක් නෑ. එය හිස් ය. අර්ථ ශූන්යය. එබැවින් සුද්ද පවිත්ර කර හෝ සංස්කරණය කර ඊට කැමති අර්ථයක් ඔබට ලබාදෙන්න පුළුවන්. එම අර්ථයේ නිර්මාතෘ ඔබ ම විනා වෙනත් කිසිවකු නෙමේ.

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්