Skip to main content

ඔබයි සංස්කෘතිය!

 සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන්යතාවය ආදී දේවල් ගැන බ්රිතාන්ය අධිරාජ්යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි.

ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන්යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප්රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන්යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන්යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි.
අද අප කතා කරන සාමාන්ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප්රමාණයක් තියෙන්නේ ඉංග්රීසි. කොහොමහරි ඒක මිශ්ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ්රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා කාලයේ සිට ගෙදර වැඩිපුර ඉංග්රීසියෙන් කතා කරනවා. සිංහලෙන් ද කතා කරනවා. ඒ නිසා ඔවුන්ගේ සාමාන්ය සිංහල මෙහෙමයි: ‘මම අද මාර්කට් එකට ගියා. වෙජිටබල්ස් ආ සෝ එක්ස්පෙන්සිව්. ඇන්ඩ් මට බෑන්ක් කාඩ් එකත් ෆොගෙට් වෙලා… බට් මම මැනේජ් කරගත්තා. එනිවේ, අද සෝ හොට් නේද?’ මෙය සිංහල කතා කරන අය ඉංග්රීසි හෝ පොෂ් කියලා පෙන්නන්න කරන සන්දර්ශණ( Show off) භාෂාව නෙමෙයි, එහෙම පන්තියක් ද තියනවා. ඒක සාමාන්ය සිංහලෙන් කතා කරනකොට ඔවුන්ට ඉබේම කියවෙන විදිහයි. කෙනකුට මේක ඔඩ් වගේ පෙනුනට අද බොහෝ සිංහල කතා කරන අයගේ භාෂාව ඇතුළේ මේ විදිහට විවිධ මට්ටම් යටතේ අවිඥානකව ඉංග්රීසි කියවෙනවා. ඔවුන්ට ඒ භාෂාවෙන් කතා කරන්න සිදුවීම අනිත් සෑම මව් භාශාවකින්ම කතා කරන පරිදි ඔවුන්ට ද ජීවත්වන පරිසරය ජයගන්න සහ ඊට ප්රතිචාර දක්වන්න සිදුවීම නිසා නිර්මාණය වුණ මවු භාෂාවයි. ඒ සමහරුන්ට සිංහලෙන් හොඳට ලියන්න පුළුවන් අතර සමහරුන්ට එතරමි බෑ .ඒ වෙනුවට ඔවුන් ලියන්නෙ ඉංග්රීසියෙන්. කොහොම හරි මවු භාෂාවක් වීමට අවශ්ය සියළුම කොන්දේසි එයටද ඇති බැවින් ඒ මිශ්ර භාෂාව ද කිසිඳු අවතක්සේරුවකින් තොරව සාමාන්ය මව් භාෂාවක් විදියට අපට පිළිගන්න සිද්ධ වෙනවා. සමහරුන්ගේ විශ්වාසයක් තියනවා විශිෂ්ට නිර්මාණ ආදිය කරන්න පුළුවන් උරුමයෙන් ලද මව් භාෂාවෙන් විතරයි කියලා. මේක සම්පූර්ණයෙන්ම සාවද්ය මතයක්. උදාහරණයකට, සුප්රකට සැමුවෙල් බෙකට් අයර්ලන්ත ජාතිකයෙක් වන අතර ඔහු ගොඩෝ එනකං (Waiting for Godot) නම් විශිෂ්ට නාට්ය ප්රංශයට ඇවිත් ප්රංශ භාෂාවෙන් ලිව්වෙ. මේ විදියට ලෝක ඉතිහාසයෙන් ඕනෑ තරම් සාධක දෙන්න පුලුවන්. ඒ වගේම මව් භාෂාව මිශ්ර භාෂාවක් හෝ වෙනත් කෙනෙකුගේ භාෂාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජන්මයෙන් සිංහල කෙනෙක් නමුත් උපතේ සිට කතා කරන ප්රධාන භාෂාව ඉංග්රීසි, සිංහලත් කතා කරන්න පුළුවන්.
මීට අමතරව අද ඉංග්රීසි කතා කිරීමේ අනන්යතාවයද වෙනස් වෙලා තියෙනවා බ්රිටිශ් ඉංග්ලිෂ්, ඇමෙරිකන් ඉංග්ලිෂ්, කර්ණාටක ඉංග්ලාෂ්, බොම්බේ ඉංග්ලිෂ්, ශ්රී ලංකන් ඉංග්ලිෂ් ආදී ලෙස. ඒ ඒ සන්දර්භයට අනුව විවිධ ඉංග්රීසි භාවිතාවන් තියන බව අද පිළිඅරන් තියෙනවා. ඒ කිසිම ඉංග්රීසි භාවිතාවක් අනිත් භාවිතාවට වඩා උසස් හෝ පහත් වෙන්නේ නෑ. ඒක සිංහල සහ අනෙකුත් භාෂාවන්ට ද අඩු වැඩි වශයෙන් අදාළයි. ඒ විදියට විවිධ සිංහල භාවිතාවන් ද තිබෙන්න පුළුවන්. ඒ කවර හෝ විදිහකට කෙනෙක් උපතින් හුරු වීම ඔහු ඇගේ මව් භාෂාව විදිහට අපට ගන්න සිද්ධ වෙනවා.
අද ලෝකය පුරාම අඩු වැඩි වශයෙන් භාෂාවේ සිට සංස්කෘතීක පුරුදු පුහුණු පවා ඒ විදියටම මිශ්ර වෙලා තියෙන්නේ. ඉංග්රීසි භාෂාවට හා සංස්කෘතියට පමණක් වෙනත් භාෂා වලින් සහ සංස්කෘතීන් වලින් එකතු වෙලා තියෙන ප්රමාණය සිංහල භාෂාවට ඉංග්රීසි එකතු උනාටත් වඩා විශාලයි.ඒ අනුව ඉංග්රීසි ද වෙනස් වෙමින් හා පරිවර්තනය වෙමින් යනවා.
කිසියම් දෙදෙනෙක් ඉන්දියාවෙන් සහ නවසීලන්තයෙන් කැනඩාවට ඇවිත් හමුවී පදිංචි වී කසාද බැඳ දරුවන් ඇතිවෙන අතර එවිට ඒ දරුවන් කතා කරන්නේ මූලික වශය‌ෙන් කැනේඩියන් ඉංග්රීසි. නමුත් ඔවුන්ට එතරම් තදින් ක්රියාත්මක නොවෙන ඉන්දියානු සහ නවසීලන්ත උරුමයන් නැතෙහාත් පසුබිමක්ද ද තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔවුන් මූලික වශයෙන් හැදෙන පරිසරයේ හරයන් සමඟ ඒ පරිසරයේ ජනතාවත් සමඟ එනම් කැ‌ෙනේඩිිිිිිිියානු ජනතාවක් විදිහට වැඩෙනවා. ඒ අතර තවත් සමහරු කැනඩා‌ෙවේ ඉපදිලා හැදිලා අප්රිකාවට හෝ ඉන්දියාවට ගිහිල්ලා හෝ එහි සම්ප්රදායන් වලට අනුව කසාද බැඳලා ජීවත් වෙනවා. සමහරු එකම සංස්කෘතියක ඉපදී එහිම කසාද බැඳ මරණයට පත් වෙනවා වෙනුවට වෙනත් සංස්කෘතීන් වලට කසාද බැඳ වෙනස් අත්දැකීමක් අරගෙන ජීවත් වෙලා මැරෙන්න කැමතියි.එයින් ඔවුන් මහත් ආශ්වාදයක් ජීවිතය ගැන වෙනස් අවබෝදයක් ලබනවා. විශේෂයෙන්ම බටහිර සහ යුරෝපයේ එය ජනප්රිය ප්රවණතාවයක් විදිහට දැන් තියනවා. සංස්කෘතීන් දෙකකින් කසාද බැන්දාම කසාදය හැමදාම රසවත්( Exciting) කියලා විශ්වාසයක් සමහරුන්ගේ තියෙනවා. සමහරු ඒ පරිවර්තනය වුණ අලූත් තත්වය මගේ සම්ප්රදාය අනන්යතාවය කියලා පවා කියනවා. ඒ අනුව ඔබ ආජන්ටිනා ජාතිකයෙකු ලෙස ඉපදී බොලිවියානුවන් හෝ කියුබානුවන් වෙනුවෙන් විප්ලව කර මැරෙන්නට පුළුවන්, ඔබ ටිබෙට් ජාතිකයකු ලෙස ඉපදී ශ්රී ලාංකිකාවට ඇවිත් සිංහල බෞද්ධයින් වෙනුවෙන් ජීවත්වෙන්න පුළුවන් , ඔබ ඇමරිකානුවෙකු ලෙස ඉපදී බෞද්ධයන් වෙනුවෙන් ශ්රී ලංකාවේ ජීවත්වෙන්න පුළුවන්.
ඒ විදිහට සියල්ල කෙතරම් වෙනස්වීම් වලට විවෘත ද කියනවා නම් ඔබට ගැහැනියකු ලෙස ඉපදී අවශ්යනම් පිරිමියෙකු වන්නටත් පිරිමියෙකු ලෙස ඉපදී අවශ්යනම් ගැහැනියකු වන්නටත් දැන් පුළුවන්.
ඉහතින් කියපු කවර හෝ මිශ්ර විදිහකට ජීවත්වීම නිසා ඔවුන්ගේ ජීවිතයේ හරයන් වලට දියුණුවට හෝ පුද්ගල සංවර්ධනයට කිසිම විශේෂ ප්රශ්නයක් හෝ බාධාවක් වෙලා නෑ. ඒ වගේම උරුමයෙන් ලද නිශ්චිත සංස්කෘතියකට සාම්ප්රදායකට අනුව පමණක් ජීවත්වීම නිසා සුවිශේෂ දියුණු මානුෂික ගුණාංග පෙන්වනවා කියලත් ලොව කොහෙන්වත් වාර්තා වෙලාත් නෑ. අද වෙනකොට අප ජීවත්වන්නේ දියුණු මානව අයිතිවාසිකම් හඳුනාගත් සංදර්භයක් තුළ බැවින් හරයන් කියන්නේ සාම්ප්රදායික හෝ ආගමික හරයන් විතරක් නෙවෙයි. සම්ප්රදායට සහ ආගමට හඳුනා ගන්නට අසමත් වුණු බොහෝ හරයන් අද අපි දන්නවා. ඒ නූතන හරයන් වලින්ම තහවුරු වෙලා තියෙන දෙයක් තමයි කිසියම් මිනිසුන් කොටසකට ආදරය බෙදාගෙන ජීවත් වන්න ඔවුන් නිශ්චිත එකම ජාතියකට හෝ සංස්කෘතියකටම අයත් විය යුතු නැති බව.
ඒ වගේම රට හෝ සංස්කෘතිය කියන්නේ භූගෝලීය සීමාවෙන් පමණක් අවසන් වෙන තැනක් ද නෙමෙයි . ඒ සියල්ලේ සීමාවන් පසුගිය කාලය තුළ පුළුල්වී අර්ථකථන වෙනස් වී සංකීර්ණ වෙලා තියනවා. වඩා අර්ථවත් ජීවිතය තීරණය කරන්නේ උපත උරුමය හෝ මරණය සිද්ධ වෙන්නේ කොතැනද කියන එක මත නෙමෙයි, ඒ කොතන හෝ ඉඳගෙන උපත සහ මරණය අතර ඔබ කරන්නේ මොනවද කියන එක මතයි. ඔබගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් හැකියාවට අනුව වඩා අර්ථය දෙන්නේ කොහොමද කියන එක මතයි. ඒ සියල්ල තීරණය කරන්නේ ඔබම විනා කිසියම් පොදු තත්ත්වයක් විසින් දුන් නියෝගයක් මත නෙමෙයි. සමාජය වඩ වඩා සංකීර්ණ වෙත්ම පුද්ගලයෙකුගේ සංස්කෘතික භාවිතාවන් සහ අනන්යතාවයන් සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක් කරන්නේ පොදු ජාතික අනන්යතාවයකට වඩා සන්දර්භීය සුවිශේෂතායි.
ඔබ අඳින්නෙ අමුඩය වේවා ටයිකෝට් වේවා, ඒවායේ ඉතිහාස කතා කුමක් වේවා එය සිංහලයින්ගේ හෝ බ්රිතාන්යයන්ගේ ඇඳුමක් නොවේ ඔබේ ඇඳුමයි. ඔබ කථා කරන භාෂාව ඇතුළු අනිකුත් අංග ද එසේමයි. ඒවායේ පොදු ලක්ෂණ තිබුණද ඊටත් වඩා ඔබටම ආවේණික ලක්ෂණ තියෙනවා. ඒක ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක් ඔබ මිලදී අරන් ඔ‌බේ කරගෙන හදනකොට ඌ අයිති ඔබට මිසක් ජර්මනියට නෙවෙයි තරම් සරලයි. ඒ අනුව ඒ සංසකෘතික අංග යම් ජාතියක අනන්යතාවයට අයිති නිසා ඔබ හීනමානයක් හෝ අධිමානයක් ඇති කර ගැනීමට හෝ ඒ වෙනුවෙන් සටන් කිරීමට තරම් මෝඩයෙක් වීමට අවශ්ය නෑ. ඒවා කුමන නමකින් හැඳින්වුවත් ඒක එය තේරුම් ගැනීමට හදන එකාගේ ප්රශ්ණයක් විනා ඔබේ ප්රශ්ණයක් නෙමේ.
ඉතින් ඔබ දේශපාලනිකව මෙන්ම සංස්කෘතිකව ද කිසිම සම්මතයක හෝ උරුමයක වහලෙක් විය යුතු නෑ. වඳ වී යන භාෂා, සම්ප්රදායන්, වෙස්මුහුණු ආදි කලා නිෂ්පාදන සංරක්ෂණය කර සුරැකීමට කෞතුකාගාර වල සිට භාෂා සංරක්ෂණ දෙපාර්තමේන්තු දක්වා ස්ථාන තිබෙන අතර ඔබගේ ජීවිතය යනු ඒවා කල් තබාගැනීමට තියන දෙපාර්තමේන්තුවක් නෙමේ. ඒ වගේම ඔබ අවුරුදු ලක්ෂ ගණනාවක් පුරා පරිණාමය වෙමින් එන මිනිසා සහ සංස්කෘතිය- සමාජයේ ඒ පරිණාම වේගය ප්රමාද කිරීමට යෝදනා වහල මුරකාර වාමනයෙක් ද නෙමෙයි. ඔබ සිතුම් පැතුම් ආදරය ආදි හැඟීම්වලින් පිරී ඇති, ඔබගේ අහඹු ඉපදීම තුළ ජීවිතය නමින් ඔබට සිදුවෙලා තිබෙන දේ සොයා යාමටත් ඊට ඔබ කැමති අර්ථයක් දීමටත් සම්පූර්ණයෙන්ම විවෘත සංවේදී සුන්දර බුද්ධිමත් ජීවියෙක් බව අමතක නොකරන්න.

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්