Skip to main content

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

 පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප්රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා.

----------------------------------------------------
මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල.
මට කවදාවත් අභිප්රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන්යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද්යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක් නිකං ඉඳල රට ආව.
මට හොඳට තේරුම්ගන්න පුළුවන් කෙටිකාලීන හෝ අරමුණු නැති එක ලොකු ප්රශ්නයක් කියල. පොඩිකාලෙත් මට මෙහෙම වෙන්න ඕනෙයි කියල අරමුණක් තිබ්බෙ නෑ. මට ලැබිල තියෙන දේවල් ඔක්කොම ඉබේ ලැබිල තියෙන දේවල් වෙන්ඩ ඕනෙ. නැත්තම් මගේ මහන්සිය ගැන මට අගයක් නැතිවෙන්ඩ ඕනෙ.
මට මතකයි සැරයක් ඉස්කෝලෙ උත්සවේකට මට ඉස්කෝලෙ blazer එක අඳින්න වුණා මං සංගමයක නිලයක් දරපු නිසා. එදා එකෙක් මාව දැකල උපහාසෙට කිව්ව "අඩෝ..මුං එහෙමත් blazer දානවද කියල". ඒ උත්සවේ දවසෙ උදේ මං අපේ භාණ්ඩාගාරික එක්ක වලියක් දාගත්තා. ඒ වෙලාවෙ ලේකම් කියපු වචනෙකට හිත රිදිල මං ස්ටේජ් එකටවත් නැග්ගෙ නෑ කේන්තියට. මට මතකයි අප්පච්චිත් උත්සවේ බලන්න ආව.
ඔය වෙලාවෙදි වගේ ම අනිත් හැමවෙලාවෙදි ම මාත් එක්කම හිටියේ මගේ අතිජාත මිත්රයා. පොඩි කෙල්ල බූට් එක තියපු වෙලාවෙ තමන්ගෙ කාර්ය බහුල රැකියාව අස්සෙ මාස තුනක් යනකල් දිනපතා කතාකරල හිත හැදුවෙ ඒ මිත්රයා. තාමත් අපේ අම්මත් එක්ක මට මඟුල් හොයන්නෙ, මං රට ඇවිත් කරන සමහර දේවල් ගැන 'ශෝක'වෙන්නෙ මිනිහ.
අපේ අම්මයි, මගේ සමීපතම යාළුවොයි, මං වැඩකරපු බොස්ල කීපදෙනෙකුයි මාව ඇදගෙන නොයන්න, අප්පච්චි මට තග නොදාන්න, මං ඔහේ වැනි වැනී ඉඳල මැරිල යන්න තිබ්බ. දැනුත් මැරෙනව තමයි. ඒත් පවුලට, රටට මොකක්හරි කළා කියන සන්තෝසෙ, මිනිස්සු කීපදෙනෙක් හරි ගොඩ දැම්ම කියන සන්තෝසෙ තියෙනව.
මට උන්නතිකාමය පිහිටල නැති එක ගැන නම් මං ටිකක් දුක්වෙනව. මට ඒක තිබ්බ නම් මට ජීවිතේ ලැබිල තියෙන ස්වර්ණමය අවස්ථා හින්ද මට සෑහෙන්න පුද්ගල පෞරුෂයක් වෙන්න තිබ්බ කියල මට හිතෙනව. ඒ මං දක්ෂයෙක් හින්ද නෙමෙයි. මට හම්බවෙච්චි අවස්ථා, මං ආශ්රය කරපු මිනිස්සු හින්ද.
බුකියෙත් මං මිනිස්සු එක්ක රණ්ඩුවෙලා බැනගෙන තියෙනව, ඒත් උදව්වක් ඉල්ලපු හැමෝට ම කරන්න පුළුවන් උදව්වක් කරල තියෙනව.
අනික මං බුකියෙ අඬාවැටෙනව කියල සමහරු කියන්නෙ ඇයි කියල මට තේරුම්ගන්න බෑ. එහෙම කියන අය ආගම ගැනයි පින් පව් ගැනයි පෝස්ට් දාගෙන ආගම රැකගන්න දඟලනව. ඒක විකාරයක් නොවී මට හිතෙන දේවල් මං මේකෙ ලියන එක විතරක් විකාරයක් වෙන්නෙ කොහොමද කියල මට හිතාගන්ඩ අමාරුයි. විකාරත් සාපේක්ෂයි.
මේ ආපු විදිහට ඉතිරි ටිකත් ඉබේ ම යයි. නැත්තම් මැරිල යයි. තව මිනිස්සු කීපදෙනෙක්ගෙවත් ජීවිත හොඳ පැත්තට වෙනස් කරන්න තිබුණොත්, තව අරක්කු ටිකක් බොන්ඩ තිබුණොත් හොඳයි කියලත් හිතෙනව. වෙන්ඩ තියෙන දෙයක් වෙයි. ඒත් බුද්ධාගමෙත් කර්මය ඇරෙන්ඩ වෙන නියාම ධර්ම හතරක් තියෙනව. (- තරීන් මුහන්දිරම් .Dec 23, 2018)
------------------------------------------------------
මුලින්ම තේරුම් ගත යුත්තේ අප මේ ග්රහලෝකයේ ඉන්නේ මහා බැරිවීමකින් බව. එහි වගකීම ගන්න දැන් දෙවියන් පවා නෑ. තාමත් මේකෙ ඉන්න විදිහ පිළිබඳව නිශ්චිත එකඟතාවක් නැති අතර බහුතරය සතුටු කළ හැකි නිවැරදි සැලැස්මක් ද මෙතෙක් ඉදිරිපත් වී නෑ. ඒ කොහොම කළත් අප මේ ග්රහලෝකයේ ඉන්නේ තවකෙකුට ආර්ථික වශයෙන් දියුණු වීම සඳහා වසරේ වැඩි කාලයක් උගේ රැකියා ස්ථානයේ ඉඳ, ඉතුරුවෙන කාලය තුළ ඉතුරුවෙන දෙයකින් ගෙයක් හදාගෙන දරුමල්ලන් නමින් තවත් පිරිසක් කඩත්තු කර, උන් කියනා අයුරින් ජීවත් වී මැරී යාමට නම් නොවන බව දැන් පැහැදිලියි. එහෙනම් අපි සියදිවි නසා ගන් නැති ව ජීවත් වෙන්නෙ ඇයි? ඊට තාමත් නිශ්චිත පිළිතුරක් නෑ. ඇත්තේ දෙවියන් පවා සම්බන්ධ කරගෙන කරන විශාල වාද විවාද තොගයක් විතරයි. ලෝකයේ අපට කැමති ලෙස නිදහසේ සොඳුරුව ජීවත්වීමට නොහැක්කේ මෙම ග්රහලෝකයේ ප්රශ්නයක් හේතුවෙන් නෙමෙයි. තාමත් විසඳිලා නැති දේශපාලන ප්රශ්නයක් හේතුවෙන් (‘The planet is fine, The people are fucked!’ - Carlin) ඉතින් ඔබ ඉපදුණ ගමන් ම ඒ් ඉපදුණ පරිසරය විසින් ඔවුන් ම දුන් හේතුවකට, ජීවත්වීමේ නිශ්චිත රටාවකට බ්රේන් වොෂ් කර, ඔබේ ඇට ලේ මස් නහර මනස සියල්ල ඔවුන් තමන්ට අවශ්ය පරිදි හදා 'ඕවා ගැන ( වෙච්ච දේ ගැන) වැඩිය හිතන් නැතිව යන විදියකට යමන්' කියන දර්ශනයට ඔබව පුහුණු කරනවා. ඔබව සාරියට පුරුදු කර කලිසමට නුහුරු කරන අතර සිංහලයෙක් වුණොත් දෙමළෙක් විදියටත් දෙමළෙක් වුණොත් සිංහලයෙක් විදියටත් හිතන්න බැරි කරන අතර කසාදය ඇතුළු තව බොහෝ දේ ඔබට නොකර ඉන්න බැරි කරන අතර ලිංගික ආස්වාදය පවා ඔවුන් කියන ආකාරයට බුක්ති විඳීමට සිදු කරනවා. ඔබට වඩා ඔබ අනුන් වෙනුවෙන් පවතින කෙනෙකු බවට පත් කර විශාල ප්රමාණයෙන් ඔබ ඔබට නැති කර ඔබව උග්ර පරත්වාරෝපණයකට ලක් කරනවා .
තරින්ගේ චරිතයේ ඇති රසවත් ම කොටස නම් ඔහු තමන්ට motivation එකක් නෑ කියා විවේචනාත්මක ඉදිරිපත් කරන මිනිසුන් මහලොකු දේවල් කියා බදා ගන්නා ජීවිතයේ දේවල් හා ක්රියාකාරකම් ඔහු සටන් කර අරගල කර දිනන්ඩ හෝ බදා ගන්ඩ නොයාමයි. අවිඥානිකව හෝ සවිඤ්ඤාණකිව ඔහු ඒ වැටිලා තියෙන තත්ත්වය මට අනුව දියුණු තත්ත්වයක්. ඔහු කියන පරිදි කුඩා කල සිට ඊට සහයෝගය දෙන පෞර්ෂයක් ඔහුට තියෙන්නේ, නැත්නම් එය සාමාන්යයෙන් අත්පත් කරගන්න අපහසු අවබෝධයක් හා යථාර්ථයක්. ඔහු තමන් සෘණාත්මක විදිහට හිතනවා කියා අදහස් කරන්නේ ඉගෙන ගැනීම, කසාද බැඳීම, රැකියා කිරීම, අනුන්ට උදව් කිරීම හා ජිම් ගිහින් ශරීරය හැඩ කර ගැනීමේ සිට නිශ්චිත හැකියාවක් දියුණු කර පෙන්වීම දක්වා විශාල තොගයක් මේ සමාජය විසින් අපට ධනාත්මක වීම සඳහා යෝජනා කර ඇති ක්රියාකාරකම්වලට ඔහුට උද්යෝගයක් නැති වීමයි. සෘණාත්මක ජීවිතය කියන්නේ ඒවා අත්පත් කරගන්නට නොහැකි වීමයි. ඇත්තටම තරින් තුළ සෘණාත්මක චින්තනයක් නිර්මාණය කර ඇත්තේ මේ ධනාත්මක ව්යාපෘතියයි. මේ ධනාත්මක ව්යාපෘතිය අප මත පීඩනයක් දෙමින් කියන්නේ අප ඉන්නා විදිය අපේ ශරීර හැඩ වල සිට විවේකයෙන් ඉඳීම දක්වා සියල්ල සතුටින් ඉඳීමට හෝ ජීවිතය අර්ථවත් වීමට මදි බවයි. මුහුණේ ඇති කුඩා කුරුලෑවක් පවා අප හදා ගත්තේ නැත්නම් අප පහතට වැටිය හැකි බවයි. ධනාත්මක ව්යාපෘතිය ඇත්ත වශයෙන් කියනවනම් අසහනය හීනමානය, පීඩනය වෛරය,තරඟය, අවිවේකය නිර්මාණය කරන මර උගුලක්. කළ යුත්තේ ඒ් උගුලෙන් ම ගැලවීමයි. ඒ් ගැලවීමට ඇති ක්රමය නම් ඒ් ධනාත්මක හා සෘණාත්මක යන ඉගැන්වීම් දෙකම බැහැර කිරීමයි ඒ් වෙනුවට සංතෘප්තිය හෝ ජීවත්වීමට හේතුව තමන් විසින් ම හොයා ගත යුතුයි.( ධනාත්මක හා සෘණාත්මක බවට විවීධ නිර්වචන තිබිය හැකිමුත් කතාවේ පහසුවට මම 'පුද්ගලයාග් සංවර්ධනය' ගැන යම් සම්මත අදහසකට අනූව ගත්තේ)
මට අනුව ඔහු හිතන තරම් කිසිම සෘණාත්මක හෝ පරාජිත හෝ අසාර්ථක දෙයක් ඔහුට වෙලා නෑ. ඔහු ඉතා හොඳින් ඉන්නවා ඔහුගේ එකම ප්රශ්නය නම් අර සමාජයේ ධනාත්මක දේවල් ලෙස ඉල්ලා තියන දේවල් නැති බැවින් තමන් ඉන්නා දියුණු තත්ත්වය සෘණාත්මක ලෙස හඳුන්වා ගැනීමයි. සමහර විට ඒ නිසා කනගාටුවෙන් ඉඳීමයි. මෙය පැහැදිලි කරන්න තව හොඳ උදාහරණයක් දෙන්නම්; ඔය ගම්වල කඩපිල්වල දාම් ගසමින් තේ බොමින් සහ වෙල් එළිවල හන්දිවල මිතුරන් සමග කාලය ගත කරන, සුළු මුදලක් පමණක් අතැතිව කාට හෝ යම් උදව්වක් කර ජීවිත් වන නිර්ප්රභූ මිනිසුන් පහත්, කාලකණ්ණි හො නොදියුණු සෘණාත්මක මිනිසුන් ලෙස ඉගැන්වීමක් තියෙනවා. ධනාත්මක වී දියුණු වන්න නම් ඔවුන් විශාල රස්සාවක් කර කඩපිල් හා වතු හන්දි වෙනුවට මිල අධික ක්ලබ්වල හා තරු පහේ නිවාඩු නිකේතන ආදියේ විවේක කාලය ගත කළ යුතු ය. ජීවිතයේ වැඩි කාලයක් ඒ් වගේ විවේකයෙන් ඉන්න පුළුවන් අය වඩා ඉහළයි! ඇත්ත වශයෙන් ම අර නිර්ප්රභූ ගැමියන්ට ද සතුටින් ඉන්නට විදියක් නැත්නම් ඒ් අර ඉගැන්වීම හා ඔවුන්ව පහත්ව සැලකීමයි. ඒ් ඉගැන්වීම නොවන්නට ඔවුන් සුළු මුදලක් පමණක් අතැතිව තමාගේ පරිසරය තුළ තම මිතුරන් සමඟ වැඩි කාලයක් විවේකයෙන්, ‘සුඛෝපභෝගීව’ ගත කරන මිනිසුන් පිරිසක්. ඒ් ගැමියන් ද බොහෝ විට තමන් ගැන පහළින් හිතන පිරිසක්. (මෙහි දී අදහස් කරනනේ සෑම ගැමියෙක් ම නෙමේ. අර කී ලෙස ජීවත්වන ගම්වල ඉන්නා යම් පිරිසක් ගැනයි) සංතෘප්තිය සොයාගෙන යාම පැත්තෙන් ගත්තොත්, ඇත්ත වශයෙන් ම ධනාත්මක ඉල්ලීම් සපුරාලන්නට හැදීම ම සෘණාත්මක චින්තනයක්!
එහෙනම් අප සියදිවි නසා ගන්නේ නැත්තේ ඇයි දැයි තිමිර වැන්නෙක් බොහෝ විට අහන්න ඉඩ තියනවා. එ්කට දෙන්න නිශ්චිත උත්තරයක් නැහැ. ඇත්තටම ඔබ සියදිවි නසා ගන්නෙ නැත්නම් කිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? කසාද බැදීම, මුද්දර එකතු කිරීම, පොත් ලිවීම, තපස් රැකීම, රැකියාවට යෑම, හඳට ගිහින් ඒ්ම, යුද්ධ කිරීම, රස්තියාදු ගැසීම, නිදාගැනීම, රණ්ඩු වීම, සමාජ සේවය,පොත් කියවීම, බල්ලෙක් ඇති කිරීම, ගෙයක් හදා ගැනීම, පෙම් කිරීම, සියදිවි නසා ගැනීම, සෙක්ස් කිරීම්, ගංජා ගැසීම, බීම, ක්රීඩා කිරීම්,... මේ වගේ තව මිලියන ගණනාවක් ක්රියාකාරකම් තමයි තියෙන්නේ. ඔබට මේවායින් මොකක් හෝ දෙයක් ලෝකයේ ලොකුම හා බැරෑරුම් ම දේ ලෙස තෝරාගෙන ඒ් මත්තේ ජීවිතය නැති කර ගන්න පුළුවන්. (Find what you love and let it kill you!- Bukowski )අර්ථය හා සංතෘප්තිය ලබා දීම පැත්තෙන් ඒ් එකක්වත් අනිකට වඩා උසස් හෝ පහත් වෙන්නෙ නෑ. එය විනිශ්චය කිරීමට දෙවියන්වත් නෑ ! ඔබ ඉදිරියේ ඇත්තේ ඔය මොකක් හෝ දෙයක් මත ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද කියන ප්රශ්නයයි.ඒ් අනූව හේතුවක් නැතුව ජීවත් වීම ද වරදක් නෙමේ. එහෙත් ඒ් කිසියම් දෙයක් ඔබට අවශ්ය නැතිව අනිකා නිසා කරන්නට සිදුවීම හුදු විඳවීමකට (Suffering)වඩා දෙයක් ඉතුරු කරන් නෑ. එහෙත් ඔබට අවශ්ය නම් ඒ් විඳවීම් ද අර්ථයක් සොයා ගැනීම සඳහා තෝරා ගන්න පුළුවන්. ජීවිතයට නිශ්චිත තේමාවක්, හේතුවක් හෝ අර්ථයක් නෑ. එවිට නැවතත් කෙනෙක් අහන්න පුළුවන් එහෙම හිතුවොත් කොහොමද එතකොට මේ ශිෂ්ටාචාරය ඉදිරියටත් පවත්වාගේන යන්නේ කියලා
ඒ්කටත් පිළිතුර ප්රශ්නයක් විතරයි.
මේක පවත්වාගෙන යන්න ම ඕනෙද? කවුරුත් එහෙම කියලා තියනව ද?
ඒ අනුව තරින්ට සතුටින් ඉදීමට කිසිම ප්රශ්නයක් ඇතිවෙලා නෑ.
අපි කතා කරමින් හිටිය විෂයපථයට සහයෝගය දෙන මූලාශ්ර අතිවිශාල සංඛ්යාවක් තියෙනවා, මම කැමතියි එකෙන් අවශ්ය සාමාන්ය කියවන්නෙකුට ක්ෂණිකයෙන් මගේ මතකයට ආ අප කතා කරන දේට වඩාම සමීප මූලාශ්ර දෙකක් දැනට යෝජනා කරන්න. එකක් ඇල්බෙයා කැමූ ( Albert Camus) ගේ සුප්රකට නවකතාව The Stranger. ( සිංහල පරිවර්තනය 'පිටස්තරයා' )මෙම නවකතාව කියවලා නැති කෙනෙක් මෙය කියවන්න කලින් පොතින් කතා කරන දේ හා එය පාදක වන දර්ශනය ආදිය ගැන පූර්ව අව‌බෝධයක් ලබා ගන්න. ‌ එය 'ධනාත්මක' හා 'සෘණාත්මක' අර්ථ දෙකින් ම කියවන්න පුළුවන් පොතක් බැවින් බොහෝ අය එය වැරදියට තේරුම් ගත්ත අවස්ථා තියෙනවා. අනිත් පොත තමයි මේ මෑතක දී පළ වී අලෙවි වාර්තා තැබූ තැබූ මාර්ක් හැන්සන් (Mark Manson ) ගේ The Subtle Art of Not Giving a Fuck නම් පොත.
ඔබට සුබ දවසක්!

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා