Skip to main content

සංජානා - ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්.

ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්.

මෙම කතාව ප්රබන්ධ කර ඇත්තේ සත්ය සිදුවීමක් ඇසුරු කරගෙනයි. නම්-ගම් මනංකල්පිත වුවත් ඒවා සත්ය නම්වල හුරුවට ආසන්නයි. මෙය මම හඳුන්වන්නේ 'කෙටිකතාවක්' විදිහේ ප්රබන්ධ නිර්මාණයක් ලෙස නොව, ඒක පාර්ෂවීයව 'කෙනෙක් කියන කතාවක්', නැත්නම් පුද්ගල 'ආත්ම කථනයක්' විදිහටයි. මෙම කතාව වඩා හොඳින් රසවිඳීම සඳහා නොකඩවා කියවාගෙන යන ලෙස මම ඔබට යෝජනා කරනවා.
මෙහි ප්රධාන කතානායක ඔනිල්ගේ පසුබිම ඔබ දැනගැනීම අවශ්යයි. ඔනිල් අයත් වන්නේ මේ වෙනකොට කොළඹ නගරාශ්රිතව ජීවත් වන, ශ්රී ලංකාවේ තවමත් හොඳින් පවතින එක්තරා විශේෂ ඉහළ නාගරික සංස්කෘතික පංති ධාරාවකටයි. ඔවුන් පාරම්පරික තේ වතු අයිතිකරුවන්. අපේ කතාවට කේන්ද්ර වන ඔනිල් දැන් ඉන්න ගෙදර හදවන්නෙ ඔහුගේ තාත්තා 1960 ගණන්වල අවසානයේදීයි. එය උයනක් මෙන් මනාව සකස් කරපු ගාර්ඩ්න් එකක් මැද පිහිටි ඇමරිකන් ස්ටයිල් නමින් ශ්රී ලංකාවේ ප්රකට වුණු පෝටිකෝවක් ඇති සේවක කාමර දෙකට අමතරව තවත් කාමර හයක් ඇති විශාල ගෙදරක්. ඔනිල්ට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් කසාද බැඳ ගොස්, කොළඹ අවට වෙනත් තැන්වල ජීවත් වෙනවා. කෙසේ හෝ ඔනිල්ට වයස අවුරුදු 30 වන විට ඔහුගේ තාත්තා මිය යනවා. ඉන්පසු ගෙදර ඉතිරි වෙන්නෙ ඔනිල්, ඔහුගේ අම්මා සහ සේවකයන් දෙන්නා විතරයි. මේ වන විට ඔනිල් සියලුම දේපොළ සහ ව්යාපාර කටයුතුවලින් මුළුමනින්ම මෙන් ඉවත්වෙලා, ව්යාපාරික අංශයට වඩා සංස්කෘතික ක්රියාකාරකම් හා පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවමින් ඉන්නෙ. ඔනිල්ගෙ තාත්තා විනෝදාංශයක් විදිහට ආරම්භ කරපු පෞරාණික භාණ්ඩ සහ කලා භාණ්ඩ එකතු කිරීම ඔනිල්ගේද ප්රධාන විනෝදාංශය බවට පත්වී ඇති අතර, එය මේ වෙනකොට ව්යාපාරයක් තරමට වර්ධනය වෙලා තියෙනවා කියන්න පුළුවන්.
ඔවුන්ගේ සාමාන්ය ජීවිතයේ විශේෂ ලක්ෂණයක් තමයි, ගෘහ භාණ්ඩවල සිට කලාව රසවිඳීම හරහා විස්කි දක්වා මිල අධික ගුණාත්මකභාවයෙන් ඉහළම දේවල් හරියටම හොයාගෙන රස විඳීමට ඇති හැකියාව. ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ පවුල් කිහිපයක් බොහෝ සති අග හවස් වරුවල ඔවුන්ගේ එක් ගෙදරකට එකතු වී බොමින් සතුටු සාමීචියේ යෙදීම විශේෂ සංස්කෘතික අංගයක් විදිහට දකින්නට තිබෙන අතර, ඒ බොහෝ සැඳෑවන් අවසන් වන්නේ විශාල සාලය කෙළවරක ඇති පියානෝව වටා එකතු වී ගැයුම්-වැයුම් වින්දනයකින්. කලා රසිකත්වය ගැන කතා කරනව නම් ජෝර්ජ් කීට්ගේ සිට එච්.ඒ. කරුණාරත්න දක්වා චිත්ර ඔවුන්ගේ එකතුවේ තියෙනවා. ඉඳහිට යුරෝපයට යන සංචාරයද ඔවුන් යොදාගන්නේ ඒ යන රටේ හොඳම ඔපෙරාවක් සහ නාට්යයක් රඟදක්වන කාලයටම ඒවා ද නැරඹීමටයි.
ඔනිල් දෙදාස් දෙකේදී, එනම් වයස තිස් තුන වන විට කසාද බඳිනවා. ඒ ඔවුන් ඇසුරු කළ මිතුරු පවුලකින්ම ආ, ඔහු පෙම් කළ යුවතිය සංජානා සමගයි. ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඒ පුතාට යන්තම් වයස අවුරුදු තුන වන විට ඉතාමත් අවාසනාවන්ත ලෙස සංජානා හදිසි අනතුරකින් මිය යනවා.
මෙතැන් සිට කතාව ඉදිරියට අරගෙන යන්නට අපි ඔනිල්ටම බාර දෙමු.
මට චාලනීව හමුවුණේ සංජානා නැතිවෙලා මාස හත-අටකට පස්සෙ. ඒ වෙනකොටත් ඒ මරණයේ කම්පනයෙන් සම්පූර්ණයෙන් නැගිටලා හිටියෙ නැති මට චාලනී විශාල ප්රතිකාරයක් වුණා. ඊට අමතරව එයාගෙ ලස්සන පෙනුමත් ඊට හේතු වුණේ නෑ කියලා මම කියන්නෙ නෑ. මම ඒ තරම් එයාගෙ පවුල් සහ සමාජ වටපිටාව හොයන්න ගියෙවත් නෑ. පෙනුමෙන් සාමාන්ය පවුලක කියලා තේරුණා. මට ඒක ඇති වුණා. එයාමයි මට පසුබිම කිව්වෙ. තාත්තා යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්. මල්ලිත් යුනිවර්සිටියෙ ඉගෙන ගන්නවා. අම්මා ටීචර් කෙනෙක්. ඔය වගේ විස්තර. දරුවෙක් ඉන්න නිසා මුලින්ම ඒගොල්ලොන්ගෙ ගෙදරින් මට කැමති වුණේ නෑ. පස්සෙ වැඩි විස්තර දැනගෙන, අපේ ගෙදර ඇවිදින් ගියාට පස්සෙ කැමති වුණා. කොහොම හරි අපි හමුවෙලා අවුරුද්දක් වත් යන්න කලින් මම චාලනීව කසාද බැන්දා.
සංජානාගෙ මරණයෙන් පස්සෙ මම හිටපු කම්පනයත්, දරුවට අම්මා කෙනෙකු නැතිවීමත් නිසා කවුරු හෝ ගැහැනියක් හමුවීම ගැන මගේ පවුලෙ සියලුම දෙනා හිටියෙ හරිම සතුටින්. එදා ඒගොල්ලො ඒකට කොන්දේසි විරහිතව සහයෝගය දුන්නා.
මේ ගැහැනුන් දෙන්නා විශ්වාස කරන්න බැරි තරමට මුළුමනින්ම වෙනස් දෙන්නෙක්. දැන් මම ඔබට කියන්න යන්නෙ මාව කම්පනයට පත්කරපු ඒ වෙනස හරහා මම ගිය හැටි. පළවැනි කෙනාගෙ රුචි- අරුචිකම් දෙවැනි කෙනාගෙන් බලාපොරොත්තු වීම වැරදියි. නමුත් ඒ එක්කම අපි ජීවිතේ දේවල් තේරුම් ගන්නෙ, හරි-වැරදි හදාගන්නෙ දේවල් සංසන්දනය කිරීමෙන්. මම සංජානා සමඟ ජීවත්වෙමින්, ජීවිතය, ආදරය සහ හරයන් ගැන බෙදාගත්ත සහ ඉගෙනගත්ත දේවල්, ඊට පස්සෙ සිද්ධ වෙන දේවල් තේරුම්ගන්න මට තියෙන එකම අත්දැකීමයි. ඒ නිසා ඒ සංසන්දනයෙන් මට ගැලවෙන්න බෑ. මට කරන්න පුළුවන් එකම දේ ඒකෙන් කාටවත් අසාධාරණයක් නොකරන්න හැකිතරම් උත්සාහ කිරීමයි. අපි බලමු.
ඉතින් මුලින්ම චාලනී සහ මං අතර බරපතළ වෙනස්කම් පෙනුණෙ අපේ වෙඩින් එක කරන්න යද්දියි. මගේ පළවෙනි වෙඩින් එක තිබ්බෙ පැරඩයිස් රෝඩ් ගැලරි එකේ. හරිම සිම්පල් විදිහට. වැඩිම වුණොත් ඒ වෙනකොට අපි ළඟින්ම ආශ්රය කරපු අයගෙන් දෙපැත්තෙන්ම හැට පහක් විතර එන්න ඇති. 'කමර්ෂල් වෙඩින්ස්'වලින් වෙනස්, සාමාන්යයෙන් ඒ වගේ 'ඉමෝෂනල් වෙඩින්ස්' කියලා හඳුන්වන ඒවට ආරාධනා කරන්නෙ අපිට වඩාම හැඟීම්වලින් බද්ධ වෙලා ඇතියි කියලා හිතන, සමීප අයට විතරයි. ඒ, එදා අපි දෙන්නම කැමති වුණු විදිහ. මේ පාර මම යෝජනා කළා, වෙඩින් එක තියමු කියලා සිම්පල් විදියට බෙයාර්ෆූට් ගැලරි ගාර්ඩ්න් එකේ. චාලනීගෙ අදහස වුණේ හිල්ටන් එකේ තියන්නයි. මම හිල්ටන් එක ගැන උනන්දු නොවුණෙ මට ඒකෙ මඟුල්වලට ගිහිල්ලම ඇති වෙලා, විශේෂත්වයක් නැතිවෙලා තිබුණ නිසයි. ඊට වඩා මම ගැලරි ඇට්මස්පියර් එකට ආසයි. නමුත් අවසානයේ මම චාලනීගෙ අදහසට ගරු කරලා, හිල්ටන් එකට කැමති වුණා. මගේ පැත්තෙන් වැඩිම වුණොත් තිහක් විතර අමුත්තන් එනකොට, එයාගෙ පැත්තෙන් සීයකට ආරාධනා කරලා තිබුණා. ඒකෙන් පහළොවක් විතර දන්වන්නෙවත් නැතුවම ආවෙ නෑ. අපේ පැත්තෙන් එන්න බැරි වුණු දෙන්නම කලින් දන්වලා තිබ්බා. ඒක මට අනුමත කරන්න බැරි නාස්තියක් වගේම සදාචාරමය ප්රශ්නයක්. ඒ වගේම මම යෝජනා කළා, මගේ කලින් වෙඩින් එකේදි වගේම අමුත්තන්ට මල් හැරෙන්න මුදල් හෝ කිසිම තෑගිබෝගයක් ගේන්න එපා කියමු කියලා. නමුත් චාලනියි, එයාගෙ පවුලෙ අයයි ඒකට විරුද්ධ වුණා. ලොකු විවාදයක් කරලා නවත්තගන්න පුළුවන් වුණේ ඇන්විලොප්ස් තියන එක විතරයි. ඇයි එපා කියන්නෙ කියලා ඒගොල්ලො ඇහුවා. එපා, ඇයි කියන එක තේරෙන්නෙ නැත්නම් ඒක කියලා දෙන්න තියෙන කතාව අමිහිරි වෙන්න පුළුවන් නිසා මම කෙටියෙන් 'ඒකත් සම්ප්රදායක්' කියලා නිහඬ වුණා.
අපේ ගෙදර ආවම චාලනීට අවශ්ය වුණා දැනගන්න සංජානා මොනවගේ කෙනෙක්ද, කොහොමද ගෙදර හිටියෙ කියලා. එයා කිව්වා සංජානා ඉන්න වීඩියෝ එකක්-දෙකක් පෙන්නන්න කියලා. මම චාලිනීට පෙන්නුවා, සංජානා නිල් අහස් තලේ අගේ සින්දුව පියානෝ එකෙන් ප්ලේ කරන හැටි. සංජානා නිල් අහස් තලේ අගේ සිංදුව නිතරම පියානෝ එකෙන් ප්ලේ කළා. ඒක එයාගෙ තීම් මියුසික් එක කියලා ඒ දවස්වල අපි විහිළු කළා. ඉස්සර අම්මයි, තාත්තයි එකට එන්ජෝයි කරපු සින්දු නිතරම වගේ රෑ කෑමෙන් පස්සෙ තනියම ඔය බ්රැන්ඩි වීදුරුවක් වගේ දෙයක් බිබී ප්ලේ කරන්න අපේ අම්මා තාත්තගේ මරණයෙන් පස්සෙ පුරුදු වෙලා හිටියා. සංජානාගෙ මරණයෙන් පස්සෙ නිල් අහස් තලේ සින්දුවත් අම්මා සමහර දවස්වලට රෑට අර වෙලාවට ප්ලේ කළා. කොහොම හරි එදා මම සංජානාගේ වීඩියෝ එක පෙන්නුවට පස්සෙ චාලනී ගොඩක් අප්සෙට් ගහලා වගේ හිටියා. එයා එදා රෑ හරියට කෑවෙත් නෑ. පස්සෙ නිදාගන්න ගියාම ඇඳ උඩදි මම දැක්කා එයාගෙ ඇස්වල කඳුළු. මං ඇයි කියලා ඇහුවම එයා බොහොම දුර්වල හඬින් කිව්වා, “පුළුවන් නම් අම්මට කියන්න ආපහු අර සින්දුව ගහන්න එපා කියලා.’’ ‘‘මට තේරෙනවා‘‘ මම කිව්වා. මම චාලනී කියපු බව නොකියා මගේ ඉල්ලීමක් විදිහට අම්මට කිව්වා, අපි දැනට ඒ සිංදුව ගහන්නැතුව ඉමු කියලා. අම්මා එකඟ වුණා. ඊට අමතරව චාලනී මගෙන් එදා රෑම ආදරයෙන් ඉල්ලුවා, සංජානාගේ පින්තූර සහ මතක පෙනෙන තැන්වලින් අයින් කරන්න පුළුවන්ද කියලා. සංජානාගේ පෙනෙන්න තිබුණු හැමදෙයක්ම පෙට්ටිවලට දාලා, මම ස්ටෝරූම් ඒකට දැම්මා. චාලනීගේ ඒ ඉල්ලීම්වලට මම යටි හිතෙන් අකමැති වුණත් මට එතැනදි එයාව මානුෂිකව තේරුම්ගන්න පුළුවන්. හැබැයි මගෙ අදහස වෙනස්. මම කියන්නෙ කිසිම හිංසාවක් කරල නැති සංජානා සහ පුතා මේ කිසිම කෙනෙක් අපේ අලුත් සම්බන්ධය තුළ ඉවත් කිරීමට හෝ සැඟවීමට අවශ්ය නැති බව, අපි හතර දෙනා ඉතා ගැඹුරු අර්ථවත් මානුෂික දහමකින් එකට බැඳී තිබිය යුතු බව. චාලනීට මං වගේ කෙනෙක්ගෙ ජීවිතයට ඇතුළුවීමේ වරප්රසාදය ඒ ගැඹුරු, මානුෂික සහ දුර්ලභ සුන්දර අත්දැකීම බෙදාගැනීමට ලැබීමයි. කොහොම හරි මම මගේ පුතාට චාලනීට කිසිම වෙනසක් නැතිව අම්මා කියන්න ඉගැන්නුවා. මම හිතුවා මනුෂ්යයෙක්ගේ ජීවිත කාලය ගත්තම අවුරුදු හතරහමාරෙදි වගේ අම්මව මාරු කිරීම වඩා පහසුයි කියලා. කාලය හරිම හෙමින් බඩගානවා කියලා මට හිතුණා.
සංජානා වගේ චාලනී පියානෝ ගැන ඒතරම් උනන්දුවක් පෙන්නුවෙ නෑ. මම බලකළෙත් නෑ. සංජානා අපේ ගෙදර ආවට පස්සෙ අපේ පොත් එකතුව දැකලා මාත් එක්ක පොත් කියවන්න පටන් ගත්තා. අපි දෙන්නා මාරු කර-කර පොත් කියවීම ලොකු ආශ්වාදයක් වුණා. ඒ ගැන විතරක් අපිට බොහෝ දේවල් කතා කරන්න තිබුණා. මගේ යෝජනාවට චාලනී එහෙන් මෙහෙන් පොතක් දෙකක් කියවන්න පටන් ගත්තත්, ඉක්මනින්ම පොත් කියවීමත් අත්හැර දැම්මා. ඒකත් එයාගෙ රුචිකත්වයක් නිසා මම බලකළේ නෑ. මට ඕනෙ වුණේ පොත් හරි පියානෝ හරි මොනවා හරි චාලනීත් එක්ක එකට මමත් රසවිඳින දෙයක් හොයාගන්න. ඒත් එහෙම දෙයක් චාලනීගෙන් හොයාගන්න මට හරි අමාරු වුණා. එයා ගොඩක්ම කැමති දේවල් විදියට පෙනුණෙ ෂොපින් යන්න, රෙස්ටොරන්ට් යන්න එහෙම නැත්නං ඔය කොහෙහරි හොලිඩේ ට්රිප් වගේ යන අවස්ථාවලටයි. සංජානා එක්ක ගත්තම ගෙදර ඉන්නකොට මමයි චාලනියි එකට කතා කරන ප්රමාණය අඩුවේගෙන යනවා කියල මට හිතුණා.
අර විදිහට චාලනී අපේ ගෙදර ආවට පස්සෙ මුල් කාලෙ එයාගෙ හැම ඉල්ලීමකටම, රුචි-අරුචිකමකටම මම එකඟ වුණා. නමුත්, ක්රමයෙන් මුල් අවුරුද්ද ඇතුළතම වගේ මම චාලනීගෙ ක්රියාකාරකම්වලට ඉඩදීමේ සීමාවකට ආවා. චාලනී කරන්න පටන්ගත්ත දෙයක් තමයි, එයාගෙ නෑදෑයො දන්න අඳුරන යාළුවො මේ ඔක්කොටම සැරෙන් සැරේ අපේ ගෙදර කෑමක් දෙන්න කියලා අරන් එන එක. එයා කොච්චර කාරුණිකද, ෆ්රෙන්ඩ්ලිද කියලා මම මුලින් හිතුවත් පස්සෙ මට තේරුම් ගිය දෙයක් තමයි එයා එහෙම අරන් එන්නෙ ඒ එන අයට මේ ගෙදර දකින්න සලස්වන්න ෂෝ ඕෆ් එකට කියන එක. ඒ හුඟක් සම්බන්ධකම් එයා හරියට පවත්වන ඒවත් නෙමෙයි. කොහෙ හරි ඉංජිනියර්, ඩොක්ටර් වගේ කියන කෙනෙක් එයාට හමුවුණොත් ඒ මිනිස්සුන්ව පුළුවන් තරං යාළු කරගෙන කෑමකට අරන් එනවා. අපි කොහේ හරි හොලිඩේ එකකට ෆයිස්ටාර් හොටෙල් එකකට ගියොත් එයා ඒ හෝටලේට ආපු බව කෝල් කරලා, අනෙක් අයට බැරි වුණු දෙයක් කළා වගේ දැනෙන්න අරිනවා. මේ වගේ වැඩ සීමාවකට ගිය අවස්ථාවක් තමයි, එයා අපේ ගෙදර දානයක් දෙන්න කියලා ඔක්කොටම එන්න කියපු එක. මම හිතපු විදියටම ඒක සිද්ධ වුණා. අපේ පවුලෙ සියලුමදෙනාගෙ තරාතිරම්, චාලනීලගෙ තාත්තා ලෙක්චර, මල්ලි ලෝයර් කෙනෙක් වෙන්න යනවා වගේ විස්තර හාමුදුරුවන්ට රහසින් කියලා දීලා හාමුදුරුවෝ ලව්ව කියෙව්වා. පස්සෙ මම එයාට ඉතාම කාරුණිකව කිව්වා අපේ දේපොළ, අපිට තියෙන දේවල්, අපි කරන-කියන විනෝද වෙන දේවල් අපි තියාගෙන ඉන්නෙ සංදර්ශනයක් විදිහට පෙන්වන්න නෙමෙයි, අපේ ඉහළ ආශ්වාදයටයි, අපේ සුවපහසුවටයි. ඒවගෙ මොනවහරි ලස්සනකුත් තියෙනව නම් දැකපු කෙනෙක් රසවින්දාවෙ. ඒත් ආගමික ක්රියාකාරකම්, මනුෂ්ය සම්බන්ධතා පවා රවට්ටමින් - මාව පවා පාවිච්චි කරමින්, ඒවා බලයක් සහ සංදර්ශනයක් විදිහට ඉදිරිපත් කරන්න එපා. ඒක හරිම සවුත්තුයි. අනෙක් මිනිස්සුන්ටත් හිංසාවක් සහ වංචාවක්.
චාලනී මේ විදිහට හැමදෙයක්ම අනෙක් අයට පෙන්වීම සංදර්ශනයක් කරගන්නකොට සංජානා කිසිම දවසක එහෙම කරන්න ගියෙ නෑ. සංජානාලගෙ ගෙදරත් අපේ ගෙදර තරම්මයි, පෙන්වනව නම් එයාට අපිටත් වඩා දේවල් තිබුණා. චාලනී ජීවිතය කියන්නෙ පෙන්වන්න තියෙන දෙයක් විදිහට දැක්ක නම් සංජානා ජීවිතය දැක්කෙ නිහඬව තමන්ට විඳින්න තියෙන දෙයක් විදිහට. සමහර වෙලාවල්වලට සංජානායි, මමයි ඔය පොඩි ලයිට් මියුසික් එකක් දාලා, සාලෙ තනියම බදාගෙන ස්ලෝ එකේ ඩාන්ස් එකක් කරනවා - ඒ වෙලාවල් වලදී මියුසික් වලට බදාගෙන විතරක් අපි ගොඩක් වෙලා ඉඳලා තියෙනවා. මම ඒ පුරුද්දට චාලනී එක්කත් තනියම ඩාන්ස් කරන්න හදනකොට එයා කියනවා, ”ඩාන්ස් කළාට වැඩක් නෑ, කවුරුත් බලන්නෙ නෑනෙ” කියලා. කවුරුවත් බලන්නෙ මොකටද? ඔයයි මමයි ආදරයයි සංගීතයයි. නැළවෙන්න ඊට වඩා වෙන මොනවද! ඒ වගේ කාටවත් පෙන්නන්න නොකර තමන්ගෙම වින්දනයට කරන බොහෝදේවල් චාලනීට අහුවෙන් නෑ. කොහොමහරි, ඊට පස්සේ මේ විදිහට එක දිගට මම චාලනීගෙ වැඩ විවේචනය කිරීමේ කාලය ආරම්භ වෙනවා.
චාලනී ගැන මගේ ගෞරවය සහ ඉහළ හැඟීම බිඳවැටෙන වැඩ තව එකදිගට මතුවෙන්න ගත්තා. පුද්ගලයෙකුගේ මානුෂික හරයන් නිරීක්ෂණය කරන්න හොඳ තැනක් තමයි, ඔබ කොයිතරම් මානුෂිකව සාධාරණව අනෙක් කෙනා තුළ තියෙන දේවල් ඔබට අගයන්න, ගණන් බලන්න පුළුවන්ද කියන එක. අන්න ඒකට කොයිතරම් ආත්ම විශ්වාසය ඕනෙද කියන එක චාලනී සහ සංජානාගේ ඇගයීම් සසඳනකොටයි මට තේරුම් ගියෙ. සාමාන්යයෙන් අපි දන්න අඳුරන කෙනෙක්ගෙ මොකක්හරි හොඳ දෙයක් දැකල අගයන්න ගියහම ගොඩක් අවස්ථාවල චාලනීට අගයන පුද්ගලයා කවුද කියන එක බලපානවා. අගයන්න වෙන හින්දා දැක්කෙ නෑ වගේ හිටිය අවස්ථා වගේම කෙනෙක්ට පාඩමක් උගන්නන්න තව කෙනෙක්ව බොරුවට අගයපු අවස්ථා මට චාලනී තුළින් හමුවෙලා තියෙනවා. ඒත් සංජානාට ඒ මොකුත් අදාළ නෑ. හොඳ දේ විවෘතව, බය නැතුව අගයන්න හොඳ ආත්ම විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මට හැමතිස්සෙම දේවල් සහ මිනිස්සු ගැන සංජානාගෙ අදහස හරිම සීරියස් වගේම හරිම වැදගත් වුණා. නමුත් අන්තිමට චාලනී අගයලා කියන දේවල් ගැන මං වැඩිය ගණංගන්නැති තත්ත්වයකට ආවා.
චාලනී කාටහරි උදව්වක් කළත් එයාට ඒක තව බොහෝඅයට කියලා ප්රචාරයක් දෙන්න ඕනෙ වුණා. නමුත් සංජානා උදව්වක් කළොත් අඩුම ගානෙ මටවත් කියන්නෙ නෑ. කාලයක් එකට ආස්සරේ කරපු යාළුවෙක් චාලනීව විශ්වාස කරලා කියපු-කරපු දේවල් බෙදාගත්ත පුද්ගලික දේවල් ඒ සම්බන්ධය ඉවර වුණොත් එයා තවත් අය එක්කලා කියනවා. සංජානා අඩුම ගානෙ මටවත් කියන්නෙ නෑ. “…ඔයාට මම ඒක කියන එක හරි නෑ” කියලා එතැනදි නවත්තනවා. අපි පාටියකදි කාලා-බීලා නටපු අවස්ථාවල කාටහරි පොඩ්ඩක් වැඩි වෙලා පිස්සු කෙළියොත්, නැත්නම් වමනෙ පාරක් ගියොත් චාලනී ඒක ගිහිල්ලා තවත් තැන්වල පහත් කරලා කියනවා. එයා නිතරම ඇසුරු කරන සමාජයේ මිනිස්සුන්ගෙ රැකියාවල් මොනවද කියලා හොයලා ඒවා තව අය එක්ක ඉහළ පහළ දමලා කතා කරනවා. ඒ වගේම චාලනී කාට හරි අකමැති කෙනෙක් ඉන්නව නම් ඒ අකමැති කෙනාව සවුත්තු වෙන්න අභූත කතාවක් හදලා පතුරුවනවා. එයා අපේ අම්මට පවා තවත් අය එක්ක 'බේබදු ගෑනි' කියලා තිබුණා. පස්සෙ මේ කතාවම චාලනීගෙ අම්මත් කියලා තිබුණා. මම ඇහුවා “අම්මා කිසිම වරදක් නොකර එහෙම කියන්නෙ ඇයි, ඒක එයාගෙ රුචිකත්වයනෙ. ඔයාගෙ තාත්තා බොනවා, මම ඒත් බේබදු මිනිහ කියන්නෙ නෑ. අපේ අම්මා කාලයක් සිගරට් බොන්න පවා පුරුදු වෙලා හිටියා. ඒත් ඒක අපි කාටවත් තාත්තටවත් ප්රශ්නයක් වුණේ නෑ.‘‘ මේ වගේ චාලනී එක්ක ගත්තම සංජානාට තිබුණා චාලනී අහලවත් නැති තරම් හොඳ ඉන්ටග්රිටි එකක්.
චාලනීගෙ මේ හැසිරීම නිසාම එයා සමහරු එක්කලා කිසිම තේරුමක් නැති ගැටුම්වල පැටළුණා. මේ බොහෝ ප්රශ්නවලට මට මැදිහත්වෙන්න සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවල චාලනී මට පවා නිවැරදි විස්තර කියන්නෙ නෑ. මං පවා අවුල් වෙනවා. වැඩි කල් යන්න කලින් අපි අවට තියෙන මානව සම්බන්ධතා චාලනී නිසා විශාල අවුල් ජාලයක් බවට පත්වුණා. සමාන්යයෙන් ඒ වගේ කැපීපෙනෙන අවුලක් ඊට කලින් අපේ පවුල් සමාජ පරිසරය තුළ තිබුණෙ නැති නිසා චාලනීගෙ හැසිරීම වඩා හොදින් කැපී පෙනුණා. ප්රශ්නය චාලනී නිසා ඒවයෙන් මම හරියට පීඩාවින්දා.
චාලනී කවදාවත් දරුවට විශේෂ වෙනස්කමක් කළා කියන්න බෑ. මම එයාට බඳින්න කලින්ම තේරුම් කළා දරුවා කියන්නෙත් මමමයි, දරුවට වෙනසක් වුණොත් ඒක මට වුණු දෙයක් විදිහට දැනෙයි කියලා. හැබැයි, පුතා මොකක් හරි වරදක් කළහම චාලනී ඒකට තරවටු කරන්නෙ බොසී විදියට පුතාව දැඩි වැරදිකාරයෙක් කරලා පහළටම දාලා. මම කිව්වා පොඩි එකාව එහෙම පහළට දාලා ගිල්ටි හැඟීමක් දෙන්නෙපා, ඒක පර්සනලිටි එකට හොඳ නෑ, එතකොට ළමයට එයාගෙ තරාතිරම ගැන හීනමානයක් ඇති වෙනවා කියලා. නමුත් මට තේරුම් ගන්න පුළුවන් වුණා එයා එහෙම කළේ පුතා මගෙ දරුවා හින්ද නෙමෙයි, එයාගෙ දෙමාපියන් එයාට කතා කළෙත් එහෙමයි. ඒ කියන්නෙ චාලනීගෙම දරුවෙක් හිටියත් එයා එහෙමයි කතා කරන්නෙ.
චාලනීගෙ චරිත ලක්ෂණ, හැසිරීම අඩු-වැඩි වශයෙන් එයාගෙ පවුලේ අනෙක් අයගෙනුත් එයාකාරයෙන් මට අත්විඳින්න ලැබුණා. ඒ සියලුම ප්රතිචාරවල ලක්ෂණ විදිහට මම දැක්කෙ තවත් කෙනෙකුගෙ රුචි-අරුචිකම්, අයිතිවාසිකම්, දේපොළ, සමාජ තත්ත්වයන් වගේ දේවල් නිසා ඇති කරගත්ත කනස්සල්ලක් සහ ඒවා ප්රශ්නයක් කරගැනීම නිසා මතුවුණු අර්බුද විදිහටයි.
චාලනීගෙ මල්ලී කෙනෙක් හිටියා විශ්වවිද්යාලයෙ නීතිය ඉගෙනගන්න. මිනිහා සමහර වෙලාවට කියන දේවල් චාලනීලගෙ පවුලෙ අයගෙ ඇවතුම්-පැවතුම්වලට විරුද්ධයි. මොකක් හරි ඇත්තක් සහ සාධාරණයක් කතා කරන බවක් මට මිනිහ තුළින් පෙනුණා. චාලනීව නිවැරදි කරගන්න මිනිහත් එක්ක මොකක්හරි කනෙක්ෂන් එකක් ගොඩනගාගන්න මම හැදුවත් බැරුව ගියා. නමුත් වෙන විදිහකටම මිනිහත් නිතර ඔය බොන තැන්වල වගේ වෙරි වුණහම ළඟ ඉන්න අයගෙ සමාජ තත්ත්වයට සහ දේපොළවලට ගරහලා කතා කරනවා. වෙරි වුණාම මේ බොන්න දුන්න එකාගෙන්ම අහනවා, මූ කවුද, මූ මොකෙක්ද ඔය වගේ දේවල්. බොන තැන් වගේ විනෝද වෙන අවස්ථාවලදි රණ්ඩුවෙනවා. මිනිහා ඔය කලාව, දර්ශනය වගේ දේවල්වල කෑලි අරගෙන විද්වත් බුද්ධිමත් කියලා මොකක්ද එකක් පෙන්නන්න හැදුවත් ආශ්රය කරනකොට ඒව මිනිහගෙ ජීවිතයට බලපාලා තියෙන බවක් පෙනෙන්න නෑ. පුද්ගලික අත්පත්කරගැනීම්වලට එනකොට මිනිහටත් චාලනීගෙ මම විවේචනය කරන ආකල්පමයි තියෙන්නෙ. මිනිහගෙන්ම සමහර අදහස් වලට අනුව හරි නම් මිනිහා සහයෝගය දෙන්න ඕනෙ මගෙ අදහස්වලටයි. නමුත් මිනිහ මාව පුද්ගලිකව ලොකු ප්රශ්නයක් කරගෙන තියෙන හින්දා ඒක කරන්න මිනිහට බෑ. මේ මං කතා කරනවා වගේ හරයන් ගැන කතා කිරීම යල්පැනගිය පරණ දෙයක් වගේ අදහසක් මිනිහා දරනවා. එතකොට අලුත්ම විදිහට හරයන් ගැන කතා කරන්නේ කොහොමද කියලා ඇහුවාම පැහැදිලි කරන්න මිනිහට අදහසක් නෑ. හැම දෙයක්ම නොසලකා හැරියාම නූතන වෙනවා වගේ අදහසක මිනිහා ඉන්නේ. මිනිහා සම්පූර්ණයෙන්ම පැටළුණු - කන්ෆියුස්ඩ් කැරැක්ටර් එකක් විදිහටයි මට අහුවුණේ. මට හරි අමාරු වුණා මිනිහත් එක්ක සහෝදරත්වයක් හෝ මිත්රත්වයක් ගොඩනගාගන්න.
අපිට ජීවිතයෙ හැමතැනකම නිවැරදි හෝ සාධාරණ වෙන්න බැරි වීම, එහෙමවෙන්න ඇති උවමනාව අත්හැර දැමීමට හේතුවක් නෙමෙයි. වඩා වැදගත් වෙන්නෙ පුළුවන් හැමවෙලාවෙම අපිට ඒ සඳහා ඇති අවංක උවමනාව සහ උත්සාහයයි. සංජානා සහ මම අතර තිබුණෙ ඒ වගේ උත්සාහයක් විතරයි. අපි අතර ගොඩනැගිලා තිබුණා ජීවිතේ හරයන් - කොලිටීස් මානුෂික දේවල් පිළිබඳව. ඒව මොනවද, හොයාගන්නෙ කොහොමද කියන එක පිළිබඳව පොඩි කතාබහක්, සංවාදයක් වගේ දෙයක්. ඒව මිනිස්සුන්ගෙ හරයන්වල සිට හොඳ කලා කෘතියක් අගයන්නෙ කොහොමද දක්වා පුළුල් පරාසයක විහිදිලා තිබුණා. අපි නිතර කතා කරනවා ඒව ගැන. ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් අපේ ජීවිතවලට එකතු කරගෙන එකට රසවිඳීමේ සැබෑ උත්සාහයක් තිබුණා. අපි කරන යම්දේක මොකක්ද හොඳම, කොලිටිම විදිහ සහ ඇයි අපිට ඒකට යන්න බැරි? ඕනෑම පරිසමාප්ත ආර්ථික, දේශපාලන ක්රමයකදි අපිට ජීවිතයෙ සාරය නමින් හොයාගන්න තියෙන්නෙ හරයන් ටිකක් නෙමෙයිද? බයිබලය, කුරානය හෝ පන්සිල් - කලගුණ සැලකීම වගේ දේවල්වල කියලා නැති ඒ හරයන් සහ රසයන් කොහොමද අපි හොයාගන්නෙ? අන්න ඒවා හොයාගැනීමේ, නිර්මාණය කරගැනීමේ සාමූහික උත්සාහය අපි දෙන්නගෙ ආදරයට හා ගෞරවයට මානුෂීය කරුණුවලට තදින් බලපෑවා. මේ උදාහරණය බලන්න: අපේ ගෙදර අපි 'අංකල්' කියන්නෙ නැවතිලා ඉන්න ඩ්රයිවර්ට. එයාගෙ ජොබ් එක ගෙදර වැඩවලටත් සහයදීමයි. වරක් සංජානා මට කියනවා, “ඔයා දන්නවද අංකල් අපේ පුතා එක්ක ඉන්නකොට සමහර වෙලාවට පුතාව ඉඹිනවා මම දැකලා තියනවා. අංකල් අපේ පවුලට ඉමෝෂනලි ගොඩක් ඇටෑච්වෙලා තියෙන්නෙ පවුලෙ කෙනෙක් වගේ. ඒ නිසා අංකල්ගෙ කාමරයත් අපේ කාමර මට්ටමටම ඇයි අපි කන්ඩිෂන් එක වෙනස් කරන්නෙ නැත්තෙ?’’ කියලා. ඊට පස්සෙ අපි අංකල්ගෙ කාමරය සේවකයෙකුගෙ සාමාන්ය හොඳ කාමරේක ඉඳන් වුණත් පවුලෙ කෙනෙකුගෙ කාමරයක මට්ටමටම සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ හරහම අපි 'ආන්ටි' කියන සේවිකාවගෙ කාමරයත් ඒ විදිහටම වෙනස් කළා. තව උදාහරණයක්: අපේ අම්මා සිගරට් බීම නවත්තන්න හේතුව පුතා ඉපදුණාට පස්සෙ කොල්ලට දුම් යයි කියලා බයට. ඒක ලොකු තීරණයක්. ඒ තීරණය ඇඩ්මයර් කරලා සංජානා පවුලෙ කට්ටියගෙ පොඩි සෙලිබ්රේෂන් පාර්ටි එකක් ඕගනයිස් කළා අම්මට තෑන්ක්ස් කරන්න. ඒ පාර්ටි එක වෙලාවෙ පොඩි කතාවක් කරලා සංජානා කිව්වා , “ගොඩාක් කාලයක් පුරුදුවෙලා හිටිය සිගරට් බීම තමන්ගෙම තීරණයකින් අම්මා අත්හරින්නෙ එයාගෙ සෞඛ්ය හේතු නිසා නෙවෙයි අනෙක් කෙනාගෙ සෞඛ්ය හේතු මතයි, ඒ කියන්නෙ මානුෂික හේතු මතයි. සිගරට් බීම හරිද, වැරදිද වැඩක් නෑ. අම්මට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් දුන්නු ඒ පුරුද්ද එයා නවත්තන්නෙ පරිත්යාගයක් විදිහටයි. අපිට වැදගත් අන්න එතැනයි." සංජානාට මේ වගේ බොහෝ හොඳ දේවල් හොයලා මතු කරලා ජීවිතේට ස්පිරිට් එක පොම්ප කරල ඒකට ගැම්මක් දීලා ඇදගෙන යන්න විශිෂ්ට හැකියාවක් තිබුණා. එක්තරා විදිහකට ඒක එයාගෙ පැෂන් එකක් වගේ තිබුණා. චාලනී අතින් විනාශ වෙමින් තිබුණේ සංජානා විසින් ගොඩනැගූ ඒ ස්පිරිට් එකයි. චාලනීට නැති වූ එකම දේ යමක කොලිටිය කියන්නෙ මොකක්ද කියන එකයි. මට හොයාගන්න බැරිවුණු දේ චාලනී තුළ තිබුණු සාරය මොකක්ද කියන එකයි.
චාලනීගෙ අර චරිත ලක්ෂණ සහ හැසිරීම් විශාල අර්බුද තොගයක් ඇතිකරන කොට මට එක දිගට එයාට කියලා දෙන්න සිද්ධ වුණා හොඳ-නරක, මිනිස්සුන්ගෙ රුචි-අරුචිකම් සහ අයිතිවාසිකම්වලට ගරු කරන හැටි, හරයන් සහ කොලිටීස් ගැන. සමහර අවස්ථාවල මට සිද්ධවුණා එයාට දැඩිව අවවාද කරන්න පවා. ඉතින් ප්රතිඵලය තමයි එයයි මායි අතර ගැටුම් උත්සන්න වීම. අවසානයේ අපිට එකට පවතින්න බැරි තත්ත්වයකට ගැටුම් උග්ර වුණා. දික්කසාදය ගැන සාකච්ඡාවෙන්න පටන් ගත්තා. එයාගෙ අදහස වුණේ සාමාන්යයෙන් හැම මනුස්සයෙක්ම එයා වගේ නමුත් මම විශේෂයෙන් එයාගෙ වැරදි දකිනවා කියලා. ඒ නිසා හැදෙන්න ඕනෙ මගේ පැත්ත කියලයි එයාගෙ අදහස. චාලනී ඇති කරපු යම් ප්රශ්නයක් මත අපි රණ්ඩු වුණු අවස්ථාවක ‘ඉන්න බැරිනම් යන්න’ කියලා මගෙන් කියවුණා -පස්සෙ ඒකට මම ටෙක්ස්ට් මැසේජ් එකකින් ඇපොලොජයිස් කරලා ඇරියා. එතකොට එයා ඔක්කොම බඩුමුට්ටු ටිකත් අරගෙන ඒගොල්ලොන්ගෙ ගෙදර යන්න ගියා. එයා කිව්වා කවදහරි එයාව තේරුම් ගත්ත දවසක මට එයාව අරගෙන යන්න එන්න කියලා. ඒ විදිහට අපි තාවකාලිකව වෙන් වුණා වගේ වුණා.
මම ඒ අපැහැදිලි කාලෙ ආයෙ එකතු වෙනවද, ඩිවෝස් වෙනවද කියලා කල්පනා කරන්න ගත්තා. මගේ වැඩි බර තිබුණෙ එයාව කොහොමහරි තියාගන්න. මොකද පුතා මේ වෙනකොට එයාට අම්මා කියලා ගොඩක් ඇටෑච් වෙලා හිටියා. කොහොමහරි ඒ විදිහට මාස තුනක් විතර යනකොට මට ආරංචියක් ආවා එයාට දැන් තව සම්බන්ධයක් තියෙනවා කියලා. මට හිතුණා දැන් නීතියෙන් වෙන්වෙන්න ඕනෙ කාලෙට ඇවිල්ල කියලා. මම කාරණේ කියන්නෙ නැතුව කෝල් එකක් දාලා ඒගොල්ලොන්ගෙ ගෙදරට ගියා අවසාන තීරණය කතාකරගන්න. මං කාර් එක ගේට්ටුව ළඟ නවත්තලා එයාට එන්නයි කියලා කාර් එකේ ඉඳන් කතා කළා. එයා හිනා වෙලා ආවා, “මං දන්නවා ඔයා කවදහරි මං ළඟට එනව කියලා” කියාගෙන. මං ඇහුවා අනෙක් සම්බන්ධය ගැන. එයා එකපාරටම කිව්වා, “මොන පිස්සුද,ඒ ළමයා මගෙ හොඳ යාළුවෙක්” කියලා. ඊට පස්සෙ මං විස්තර හරියටම කිව්වම එයාට පිළිගන්න සිද්ධ වුණා සම්බන්ධයක් තියෙන බව. ඒ පාර කිව්වා, “ඒක ඉක්මන් වෙලා කරපු මෝඩ වැඩක්. එච්චර සීරියස් එකක් නෙමෙයි. මං එයා එක්ක බුදියගත්තෙ නෑ” කියලා. මං කිව්වා, ‘‘ඔයා බුදියගත්තත් එකයි, මට නැතත් එකයි.. ඕනෙ මගුලක් මට ප්රශ්නයක් නෑ, මට ඔයාගෙන් ඩිවෝස් වෙලා නිදහස් වෙන්න ඕනෙ කියලා. අන්තිමට එයා මගේ පිට වරද දාලා ඩිවෝස් එකට එකඟ වුණා.
චාලනීගෙ ඒ සම්බන්ධය මොකක් වුණත් ඒ වෙනකොට අපි හිටිය අවිනිශ්චිත තත්ත්වය උඩ ඒක වරදක් විදිහට මම දකින්නෙ නෑ. නමුත් එතැනදිත් අර සුපුරුදු විවෘත නැති විදිහට එයා උත්සාහ කළේ මට ඒක ඔප්පු කරන්න බැරිනං මං එක්ක ආයෙත් එන්නයි. සමහර විට ඒ සම්බන්ධය තියෙද්දිම වෙන්නත් බැරි නෑ. මාව කම්පනයට පත් කළේ ඒකයි. එයාට වුණු වැරදීමක්, එයාගෙ වෙනස්වීමක්, ඒවා ඕනෙම දෙයක් මට දරන්න පුළුවන් ඒත් මම වංචාවකට රැවටීමකට හසුවුණා කියන එක මට දරාගන්න හරි අමාරුයි. ඔය විදිහටම තමයි සාමාන්යයෙන් එයා අනෙක් ප්රශ්නවලදිත් කතා කරන්නෙ. අනෙක් කෙනාගෙ හැඟීම් තේරුම් ගන්න ඇති අඩු හැකියාව ප්ශ්නයක් ශිෂ්ටසම්පන්නව, සාධාරණව විසඳගන්න බැරි වීම මේ වගේ මම එයා නිසා එකදිගට වේදනා වින්ද සිදුවීම්වලම තවත් එක සිදුවීමක් විතරයි මේක. මම හැරිලා ගෙදර ආවා.
ගෙදර ඇවිත් මම පවුලෙ ඔක්කොටම අවුරුදු දෙකකට ආසන්න ඒ කසාදයේ අවසාන තීරණය කිව්වා. ඊට පස්සෙ මම විස්කි වීදුරුවක් පුරෝගෙන ඉස්තෝප්පුවෙ පුටුවක ඇලවෙලා කල්පනා කරන්න ගත්තා. ජීවිතය නමින් අපේ මතකයට එන්නෙ අපිට වෙච්ච දේවල්. සුන්දර හෝ අසුන්දර සමහර මතක අයින් කරන්න බෑ. එතකොට අපිට ඒව එක්ක ඉන්න වෙනවා. මට දැන් ඕනෙ චාලනී ගැන මට ඇතිවෙලා තියෙන කේන්තිය අප්රසන්න මතක හැකි තරම් ඉක්මනින් අයින් කරලා සංජානා ගැන තියෙන මතක එක්ක ආයෙත් තනිවෙන්න. ඒ එක්කම චාලනී ගැන මගේ පුද්ගල කේන්තිය ඉවත් කරගෙන එයා දිහා වඩා යතාර්ථවාදීව බලන්න මම උත්සාහ කළා. චාලනී නිතර කියපු විදිහට චාලනී හිතන විදිහ එයා හැසිරෙන විදිහ එක්තරා ලෝකයක - චාලනීලගේ ලෝකයේ මිනිස්සු සාමාන්යයෙන් ජීවත්වෙන විදිහ වෙන්න ඇති. එයාට සාමාන්ය පොඩි දේවල් මට ලොකු දේවල්. මට ලොකු දේවල් එයාට පොඩි දේවල්. ඒක විසඳගන්න බැහැ. චාලනී කියන්නෙ ඒ ලෝකයේ තවත් එක නිෂ්පාදනයක්. ඒ ලෝකයේ මිනිස්සු අපිට වඩා වෙනස් විදිහකට ආදරේ කරනවා ඇති, කසාද බඳිනවා ඇති, පාටි දානවා ඇති, පන්සල් යනවා ඇති, ඒ කොහොමද කියන එක මට තේරුම්ගන්න බැරුව ඇති. ඒ මිනිස්සු ජීවිතය කියන්නෙ මම ජීවිතය කියන එකට නෙමේ වෙන්න ඇති. ඒ ලෝකයට අනුව සමහර විට චාලනී හරි ඇති, මම වැරදි ඇති. මම චාලනීව වෙනම අරගෙන මට අනුව වැරදියි කියන එක හරිද? මම ඒ ගෑණු දෙන්නව සසඳන්නෙ මට වඩාම බලපාන අංශයෙන් විතරයි. සමහර විට මට නොපෙනෙන පැත්තකින් චාලනී හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. එයා වැරදි වෙන්නේ මගේ ලෝකය තුළයි. මගේ ලෝකය තවත් එක ලෝකයක් විතරයි. හැබැයි මේ සියල්ල මීට වඩා සාධාරණ විදිහට හසුරුවාගැනීමේ හැටි මම දන්නෙත් නැතුව ඇති - ඇත්තටම මම දන්නෑ. මගෙන් එයාට අසාධාරණයක් වෙන්න ඇති කියන සැකය සහ වරදකාරී හැඟීම මට තාමත් තියෙනවා. කවුරුහරි ඒක මට හරියට පෙන්නලා දුන්නොත් ඒ වෙනුවෙන් මට පුළුවන් වන්දියක් එයාට ගෙවන්නත් අවශ්ය නම් සමාව ඉල්ලන්නත් මං සූදානම්. ඒත් අපිට එකට ඉන්නනම් බෑ බෑ බෑමයි.
මගේ දෙවැනි විස්කි වීදුරුව එක්ක මම ආයෙත් සංජානා කරා ගියා. සියල්ල සංජානායි. සංජානාව මට මේ තරම් බරසාරව දැනුණෙ ඇයි කියලා දැන් මට පැහැදිලියි. කාලෙකදි මම හරි සුලබව රැඳුණු සංජානාගෙ එක තොල් පෙත්තක් විතරක් මට අද මුතු මැණික මිලියන ගණනකට වඩා වැඩියෙන් දැනෙනවා. මට මීට කලින් කිසි දවසක සංජානාට මේ තරම් ආදර හැඟීමක් ඇතිවෙලා තිබුණෙ නෑ. සංජී, මගෙ මැණික ඔයා දැන් ඉන්නෙ කෙහෙද? මට ඔයා ගැන මතකයක් ඉතිරිවෙලා තියෙන කොහේ හරි තැනකට මට මේ දැන් එන්න ඕනෙ. අන්තිම මතකය තියෙන තැන. මට දැන් යන්න ඕනෙ එතැන්ට. ඒ හවස්වරුවෙ ලොකු වැස්සකට සිරිකඩ එමින් තිබුණා . මම එකපාරටම ගිහින් කාර් එකට නැග්ගා. එයාව බලන්න කියලා මීට කලින් කීපපාරක් ගිය තැන ඒ අඳුරු කනත්ත කෙළවර අරලිය ගහ යටට යන්න. පුතා මං පස්සෙ දුවගෙන ආවා. “නගින්න.” මම කොල්ලවත් කාරෙකට දාගෙන කාරෙක වේගෙන් ඉස්සරහට ඇද්දුවා.
“අපි කොහෙද යන්නෙ තාත්තා?”
“යනවා අම්මා බලන්න.”
“කොයි අම්මද?”
වැස්සත් එනවා. විස්කි වීදුරු දෙකකුත් ගහලා එකපාරටම ගෝල් රෝඩ් එකට දානකොට තමයි මට මතක් වුණේ පොඩි එකාව කාර් එකට දාගත්ත එක ගොන් වැඩක් කියලා.
මම සංජානාගෙ සොහොන ඉස්සරහ සෑහෙන වෙලාවක් ඉඳගෙන ඉන්න ඇති එයාගෙ පින්තූරය දිහා බලාගෙන. මුළු විශ්වයම නැවතුණු මොහොතක්.
"තාත්තා අපි තෙමෙනවා."
කාර් එකේ අපි ආයෙත් ගෙදර එනවා.
"අඬන්න එපා තාත්තා."
"මගෙ ඇහැට මොනවද ගියා, පුතා ඉස්සරහ බලාගෙන යන්න."
මම ගෙදර ඇවිල්ලා සංජානාගෙ ෆොටෝස් ආපහු ඒ තිබ්බ තැන්වලින්ම එල්ලන්න පටන්ගත්තා. පුතා ප්රශ්න තොගයක් අහලා-අහලා, මම කිසිම උත්තරයක් දුන්නැතුව ඉන්න නිසා ඉකිගහලා අන්තිමේදි නිශ්ශබ්දව මොකුත් කතා කරන්නැතුව හිටියා. පුතා මට සංජානාගෙ ෆොටෝස් එල්ලන්න උදව් කරමින් හිටියා. අපි දෙන්නම එකතු වෙලා සංජානාගෙ බඩු මුට්ටු ඔක්කොම එයා අපි එක්ක ඉද්දි තිබුණු තැන්වලින් ආපහු තිබ්බා. පුතා අරගෙන දෙන ඕනෑම දෙයක් මම තිබුණු තැන්වලින් තිබ්බා. මාල, කරාබු, වළලු, කන්නාඩි මේසෙ උඩට. සාරි ඒව තිබුණු අල්මාරි-ඇඳුම් රාක්කවලට. ඉතුරුවෙලා තිබ්බ හැමදෙයක්ම එයා එදා තියලා ගිය තැන්වලටම. ටූත් බ්රෂ් එක පවා. මම සංජානා නැති වුණාට පස්සෙ අඩි හතරක් විතර උස ලොකු බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් ප්රින්ට් කරල, ෆ්රේම් කරල මම නිදාගන්නකොට මට පේන්න ඇඳ ඉස්සරහ එල්ලලා තිබුණා. ඒක එයා පියානෝ එක ගගහ ඉද්දි මම හදිස්සියෙ ගත්ත පික්චර් එකක්. ඔළුව හරවලා මම දිහා බලනකොටම ලස්සනට වැදිලා තිබුණා. ඒක ආපහු අද එතැන. සංජානා ආපහු ඇවිත් !
එදා රෑ ගෙදර කවුරුවත් කතා කළේ නෑ. ඒ මහ වැස්සෙන් පස්සෙ ලොකු නිහඬතාවයක් තිබුණෙ. මම පුතත් එක්ක ඇඳට ගියා නිදාගන්න. වෙලාව රෑ දොළහට කිට්ටුවෙන්න ඇති. මං සංජානා දිහා බලාගෙන පුතාගෙ ඔළුව අතගාමින් හිටියා නින්ද යන්න. අම්මා සුපුරුදු විදිහට පියානෝව ටියුන් කරමින් හිටියා.
දිග දවසකින් පස්සෙ වෙහෙස නිසා තාමත් නිදි නැතුව හිටිය අපි දෙන්නව කිසියම් මොහොතකදි වාදනය වෙන ඒ ගීතයේ හඬ සාලයේ ඉඳන් ඇවිත් නිදි සුවය කරා ගෙනියන්න ඇති.
නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලාස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්