Skip to main content

මං හිතන්නේ මට Depression

 උපුටා ගැනීමක් !! 


"මං හිතන්නේ මට Depression" 

"මට මැරෙන්න හිතෙනවා" 

ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ? 


Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ.  තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක්  කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ. 


ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ? 


මේ සටහන ඒ ගැනයි. 


කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා  කියූ පමණින් එයාට depression කියලා කියලා නිගමනය කරන්න බෑ. (එහෙම කරන්නත් එපා!) 


උදාහරණෙකට කියමු ඔයාගේ ළඟම යාළුවෙක්, බැලූ පමණින් එයාට depression ඇති කියලා හිතෙන විදිහේ දේවල් කියනවා කරනවා කියලා. මුලින්ම බලන්න මේ කියන ලක්ෂණ ඔහුට/ ඇයට කියනවද කියලා. 


🔎නිතරම දුකින්, අඬන්න සූදානමින් ඉන්න එක. 


🔎වෙනදාට වඩා අසුබවාදී විදිහට හිතෙන එක සහ  "තමන්ට අනාගතයක් නැහැ" කියන එක නැවත නැවත කියන එක. 


🔎මොනවා හරි දෙයක් ගැන කලකිරීමෙන් වරදකාරී හැඟීමෙන් ඉන්න එක, තමන් කිසිම වටිනාකමක් නැති කෙනෙක් විදිහට හඳුන්වාගන්න එක 


🔎වෙනදාට වඩා අඩුවෙන් කතා බහ කරන එක 


🔎අනිත් අය නුරුස්සන ගතිය 


🔎කිසිම energy එකක් නැතිව, එදිනෙදා කරන දේවල් ඉතා හෙමින් , නූමනාවෙන් කරන එක 


🔎තමන්ගේ පිරිසිදුකම ගැන අඩු සැලකිල්ලක් දක්වන එක 


🔎සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන් හෝ ගොඩක් වැඩියෙන් නින්දට යන එක 


🔎ප්‍රමාණය ඉක්මවා කෑම ගැනීම හෝ කැම නොගෙන ම ඉන්න එක 


🔎ඉතාම පුංචි කාරණා වලදී තීරණයක් ගන්න ලොකු වෙලාවක් ගන්න එක, 


🔎අමතක වෙන සුළු ගතිය 


🔎එදිනෙදා මිනිසුන් සියදිවි හානි කරගැනීම සාධාරණීකරණය කරන එක.. 


මේ වගේ ලක්ෂණ ඔයාගේ යාලුවා පෙන්නනවනම් ඔයා මොකක්ද කරන්න ඕනෙ? 👇👇


⚡පළවෙනි කාරණේ තමයි එයාලට හොඳින් ඇහුම් කන් දෙන්න. එයාලගේ ප්‍රශ්නයට ඔයා සම්පූර්ණ අවධානය දෙන බව අඟවන්න. ප්‍රශ්නේ ගැන එයා කතා කරන්නෙ නැත්නම්,  "ඔයාට මේ දවස් වල කොහොමද? අර වැඩේ ට මොකද උනේ?" මේ වගේ වක්‍රාකාරයෙන් එයාගෙ ප්‍රශ්නයට එළැඹෙන්න. හැබැයි මෙතනදී එයාලට advices දෙන්න යන්න එපා. "ඕක ගැන වැඩිය හිතන්න ඕන නැහැ,  ඕක  සුළු දෙයක්" මේ විදිහට කියන්න යන්න එපා. ඒ වෙනුවට කියන්න, "ඔව් මට තේරෙනවා, මටත් හරි කණගාටුයි" කියලා. එයාගේ හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නය ඉඳලා  පුංචිම සිත් තැවුල් වෙනකන් හැම දෙයක්ම කියන්න සලස්වන්න. ඔයාගේ අංග චලන වලින්, එයාගේ කතාව ගලා ගෙන යන්න උදව් වෙන්න 


⚡ඊළඟ කාරණය තමයි, හරි උපදේශනයකට යොමුවෙන්න  එයාලට උදව් වෙන එක. කලිනුත් පැහැදිලි කළා වගේ සමහරවිට ඒ කෙනා නොදැන ඉන්න පුළුවන් එයාට තියෙන්නේ විශාද තත්ත්වයක් කියලා.. මුලින් පැහැදිලි කරපු විදිහෙ ලක්ෂණ පෙන්වනවා නම්, එයාට විශේෂඥ උපදේශනයක් ඕනැ බව පැහැදිලියි. 


ඇත්තෙන්ම අපේ රටවල ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, බටහිර රටවල බොහෝ දෙනා මනෝවෛද්‍ය උපදේශන වලට යොමු වෙන්නේ තමන්ට මානසික රෝගයක් තියෙන නිසා නෙවෙයි. ඉගෙන ගන්න වගේම රැකියාවක් කරන කාර්යබහුල  අයට හොඳ මානසික සෞඛ්‍යය එක තියෙන වැදගත්කම දන්න නිසා, බටහිර රටවල බොහෝ දෙනා, පුරුද්දක් විදිහට Mental therapy sessions වලට යොමු වෙනවා. ඉතින් ඒ කාරණයත් එක්ක ඔයාගේ යාලුවට වක්‍රාකාරයෙන් පැහැදිලි කරන්න, මේ වෙලාවේ ඒ වගේ උපදේශනයකට යොමු වෙන එක හොඳ තීරණයක් කියලා.  


යාලුවගෙ මානසික තත්ත්වයත් එක්ක, එහෙම සායනයක්, වෛද්‍යවරයෙක් හොයාගන්න පුලුවන් තත්වයක් නැත්නම්, මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහලා, මේ මේ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ගෙන් එයාට උදවු ගන්න  පුලුවන් කියන එක කියන්න. 


✅වෛද්‍යවරයෙක් තෝරගන්න, appointment එකක් දාගන්න, පලවෙනි සැසියේදී ඉදිරිපත් කරන්න ඕන  ප්‍රශ්න ගැන එකතු වෙලා සාකච්ඡා කරන්න. 


ඒ විදිහට ප්‍රතිකාර ආරම්භ කළාට පස්සේ,  ප්‍රතිකාර වලට යොමු වෙන එක ගැන ඒ කියන්නේ හරිම වෙලාවට එයා sessions වලට සහභාගි වෙනවා ද කියන එක ගැන  සැලකිල්ලෙන් ඉන්න. අනිත් හැම හැමදේටම වගේ,  තමන්ට දීලා තියෙන දවසට ප්‍රතිකාර වලට යොමු වෙන්නත් යාළුවා අදි මදි කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවට  "මතකද ගිය සතියේ සතියෙ session එකෙන් ඔයාට ලොකු උදව්වක් වුන බව ඔයා කිව්වා, සමහර විට මේ session එකෙනුත් හොඳ දෙයක් වෙයි.." කියලා කියන්න. 


විශාදය වගේ තත්ත්වයන් සනීප කරන්න ලබාදෙන ඖෂධ නිසා සාමාන්‍යයෙන්, මුල් සති කිහිපයේ සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඖෂධවලට හුරු වෙනකන් ඒවා හරි පිලිවෙලට  ගන්න එකත්, අතුරු ආබාධ තමන්ට දරාගන්න අමාරුයි නම්, prescription එක වෙනස් කරගන්න එකත් වැදගත්. හොඳ යාලුවෙක් විදිහට ඔයාට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද නිර්දේශයක් නැතුව එකවරම ප්‍රතිකාර නවත්වන එක, ප්‍රතිකාර නොගෙන ඉන්නවට වැඩිය නරක ප්‍රතිඵල ගේන්න හේතු වෙන්න පුළුවන්. 


මෙතැනදී යාලුවගෙ ඔයාගෙත් දෙන්නගෙම හොඳට ගන්න පුළුවන් තවත් පුංචි පියවර කිහිපයක් තියෙනවා. 


ඔයාගේ කාර්යබහුලත්වයත් එක්ක, විශේෂයෙන් ඔයත් විභාගයට සූදානම් වන අවස්ථාවක වගේ නම්, දවස පුරා එයාට ඇහුම්කන් දෙන එක කරන්න ටිකක් අමාරුයි නේ.  ඒ නිසා, ඒකට වෙනම වෙලාවක් වෙන්කර ගන්න. හැබැයි එයාට ඔයාව  සම්බන්ධ කරගන්න අත්‍යවශ්‍ය වුණ හදිසි අවස්ථාවක, ඒ බව ඔයාට  අඟවන්න, මොකක් හරි විශේෂ සලකුණක් code එකක් වගේ දෙයක් තියාගන්න. 


යාලුවට ඉන්න ලොකුම ශක්තිය ඔයා වුණත්, එයාට තියෙන ආධාරය ඔයා විතරක්ම වෙන්න ඉඩ තියන්න එපා. ඔයත්, ඔයාගේ යාලුවත් හැර, තවත් ඔයාලගේ විශ්වාසවන්ත යාලුවෙක් වැඩිහිටියෙක් එකත් එක්කත් ක්‍රමයෙන් සම්බන්ධ වෙන්න, විවෘත වෙන්න ඉඩහරින්න. 


මේ අදියර වෙනකොට ඔයාගේ යාලුවා උපදේශනයකට යොමු වෙලා හිටියත්, ඔයා කියන කෙරෙන දේවල්වලිනුත් එයාට ලොකු බලපෑමක් වෙන නිසා, ඉඩක් ලැබුනු වෙලාවට Depression කියන්නේ මොකක්ද , ඒක මොන තරම් සුලභ තත්ත්වයක් ද, ලෝක ජනගහනයෙන් කොයිතරම් ලොකු ප්‍රමාණයකට මේ තත්ත්වය තියෙනවද, depression එකට හේතු වෙන්නේ මොනවද, මේ වගේ දේවල් ගැන යාළුවත් එක්කම එකතු වෙලා ස්වයං අධ්‍යයනයේ යෙදෙන්න. 


යාළුවට එදිනෙදා වැඩ වලට  පුළුවන් විදිහට උදව් කරන්න බලන්න. හැබැයි "උදව්වක් ඕනි නම් කියන්න"  කියලා කියන්න එපා. ඒ වෙනුවට, "ඔයාට අද තියෙන වැඩ වලින් මට කරන්න පුළුවන් මොකක්ද, මම අද මේ තැනට යනවා එතනින් ඔයාට කරගන්න මොනවා හරි වැඩක් තියෙනවද?" වගේ දේවල් කියන්න. ඔයාගෙ වැඩ පාඩු කරගෙන, එහෙමත් නැත්නම් එයා වෙනුවෙන් විශේෂ කැප කිරිමක් කරන බව පෙන්වන්න යන්න එපා. 


mood එක change කරන්න කියලා, ට්‍රිප් යන්න, පාටි වලට  බලෙන් එක්කං යන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් වලට එයා සූදානම් වෙනකම් pressure කරන්න එපා. 


ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුරේ ඔයාගේ යාලුවා එකම එක දවසක වෙන කවරදාටත් වැඩියෙන් දුකින් ඉන්නවා දැක්කොත්, ප්‍රතිකාර සේරම අසාර්ථකයි කියලා හිතන්න එපා. ඒ වගේම තමයි, හදිසියේ එක දවසක සතුටින් විනෝදෙන් හිටියා කියලා ඔයාගේ යාළුවා  සම්පූර්ණයෙන් සුව වෙලා, සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා  කියලා නිගමනය කරන්න යන්නත් එපා. 


මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී  ඔයාගේ ඉවසීමත් ගොඩක් වැදගත් කාරණයක් වෙනවා. Depression එක සුව කරන්න ගත වෙන කාලය වගේම ඒකට පාවිච්චි කරන්න ක්‍රමවේදයත් එක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස් වෙනවා. ඒ මුළු කාලය පුරාම ඔයාට ඔයාගේ යාලුවත් එක්ක වෙනදට වඩා තරමක් ඉවසීමෙන් වැඩ කරන්නත්, අර කලින් කියපු විදි වලට එයාට උදව් කරන්නත් පුළුවන්නම්, ඉක්මනින්ම තමන්ගේ සුපුරුදු ජීවිතේට ආයෙමත් අවතීර්ණ වෙන්න එයාට ඒක ලොකු උදව්වක් වෙයි.

.

.

.

මූලාශ්‍ර: 

https://www.psychiatry.org/

https://www.healthline.com/

Comments

Popular posts from this blog

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් ...

ජීවිත කාමරය අස් කළ දවසක්!

  දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප් ‍ රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව් ‍ යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද් ‍ රව් ‍ ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එ...