සමහර වෙලාවට අපි මිනිස්සුන්ට නරියා, බල්ලා රිලවා, බූරුවා කියලා කතාකරනවා. අපි එහෙම කතාකරන්නේ උගේ චරිත ලක්ෂණ දිහා බලලා. ඒ නිසා උගේ මහ උන්ගේ හීනවලට අනූව දාපු නම්වලට වඩා ඒ නම් මොනවා හරි ඌ ගැන කියනවා. ඒ අනුව මහඋන් දාපු නම මොහොතකට අමතක කරලා, අපි මේ හාදයාට හරක් පැටියා කියලා කියමු.
මම වරක් හරක් පැටියාගේ අම්මායි තාත්තායි හමුවුණ වෙලාවක ඇහුවා, ඇයි ඔය දෙන්නා කසාද බැන්දෙ කියලා. දෙන්නා හිටියේ වයස හැට ගණන්වල. දෙන්නාම මුලින්ම විඩාබර හිනාවක් දාලා පොඩි විහිලූවක් කරලා කීවා ඒ තමයි බඹා කෙටූ හැටි, ඒවා ඉතින් නියම කාලෙදී ලෝක සම්මතයට අනුව විය යුතු දේවල් කියලා. එහෙම නැත්නම් මිනිහෙක් සම්පූර්ණ නෑයි කීවා. ඊට පස්සේ මම ඇහුවා දැන් ඉතින් සම්පූර්ණ ද කියලා. ඒකට මුකුත් නොකියා හිනා උනා. ඔබත් අහලා බලන්න.
මෙන්න මේ විදියට ලෝක දහම විදියට විශාල පිරිසක් යන රටාව නිවැරදිව ජීවත් වීම විදියට තෝරාගත්ත දෙදෙනකුට දාව හරක් පැටියා ඉපදුණා. මහඋන් හරක් පැටියාට කුඩා කාලයේ පටන් කළ යුතු දේවල් කළේ පර්යේෂණාත්මකව නෙමේ, පැවත ආපු ලෝක සම්මතයට අනුවයි. කවුරුත් වස් යන්නට නළලට පොට්ටු තිබූ නිසා ඌටත් පොට්ටුවක් ලැබුණා. ඒක ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙත් නෑ. කවුරුත් ප්රශ්න කළේත් නෑ. උගේ පස්ස හේදීමේ ඉඳන් ඉඳුල් කටගෑම දක්වා හැමදේම ලෝක සම්මතයට අනුව වෙච්ච දේවල්. කොටින්ම උගේ මහ උන් දෙන්නට මොළය වෙහෙසා තනිව කල්පනා කරලා කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. රටාවක් තිබුණා. උන්ට තිබුණේ ඒ අනුව යන්ඩයි.
හරක් පැටියා බහ තෝරන කාලයට එනකොට මහඋන් දෙන්නාට සිද්දවුණා ඌට ලෝකය ගැන කියලා දෙන්න. ලෝක සම්මතය තියන නිසා ඒකත් හරිම ලේසි වැඩක් උණා. කවදත් හරක් පැටියාගේ මහ උන්ට තිබුණා පොඩි සැකයක් එක්ක හීනමානයක් උන් ජීවත්වෙන විදිය, අඳින පළඳින කනබොන හැසිරෙන විදිය හරියටම හරිද කියලා. මේ නිසා වඩා උසස් හා ඉහළට ගියවුන් කියලා බහුතරය පිළිගත් උන් කනබොන අඳින විදිය අනුගමනය කිරීම වඩා ආරක්ෂිත බව පෙනුණා. විශාල ගෙයක් කාර් එකක් සමඟ පිළිගත් රස්සාවක් හෝ ලොකු ආදායම් මාර්ගයක් තිබුන එකෙක් උගේ මහවුන් විසින් ඉහළට ගිය එකෙක් විදියට සැලකුවා. හරක් පැටියාට ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු, පාසල් විෂයන් විතරක් නෙමේ විනෝදාංශ පවා තේරුවේ ඇහැට පේනමානයේ ඉහළ ගියවුන්ගේ දේවල් දිහා බලාගෙනයි. හරිම ලේසියි.
මේ විදියට හරක් පැටියාව හදන සරල ක්රමය උනේ නිතරම හරක් පැටියාට අනිත් එවුන් ජීවත්වන හැටි පෙන්නලා ඒ විදියට හැදෙන්න කියන එකයි. ඒ පෙන්වූ අනිත් උන් විදියට හරක් පැටියාට හැසිරෙන්න බැරි උනාම තමයි ඌ ගුටි කෑවේ, නැත් නම් ඌව හොඳටම කොන් කළා, ඒ වගේ වෙන්න බැරි උනා කියාල.
උදාහරණයකට, විභාගයකින් ලකුණු අඩු උනොත් ලකුණු වැඩියෙන් ගත්ත එකෙක් හරි හොඳ රස්සාවක් තියන එකෙක් පෙන්නලා හරක් පැටියව බය කළා කවදා හරි උඹට අන්න අරූගේ පස්ස ලොවන්න වෙයි කියලා. ඒ නිසා ඌ නිතරම ඉහලට ගිය උන් ගැන කල්පනාවෙන් ඉන්නත් උන් ගැන හොයා බලන්නත් පටන් ගත්තා. ඊට පස්සේ හරක් පැටියාට හැමතිස්සෙම ඉහළට ගියා කියලා කියන උන්ගේ පස්සවල් මැවෙන්න ගත්තා. ඒවා ලොවන්න වෙයි කියලා ඌට බය හිතුනා. ඒක හරිම බිහිසුණු පින්තූරයක්.
කොහොම හරි හරක් පැටියා උසස් පෙළ ඉවර කරන කොට මුළුමනින්ම අනිත් උන් විදියට හැදිලා තිබුණා. කන බොන දේවල්, අඳින පළඳින දේවල්, විහිලූ තහළු, ලෝකය දකින ආකාරය, ගැහැනිය තෝරාගන්නා ආකාරය, මිනිස්සු තේරුම් ගන්නා හැටි හැමෙකක්ම. කොටින්ම ඌ උගේ පෙම්වතියට හුරතලේට කතා කරන නමත් අනිත් උන් උන්ගේ පෙම්වතියන්ට කතාකරන නමක්.
හරක් පැටියා මඟුල් ගෙවල් උත්සව වගේ බහුතරයක් ඉන්න තැන්වලට ගියාම ඌ අනිත් උන් ඉන්න විදිය හොරෙන් වගේ බලලා තමන් ඉන්න විදිය අතපය ආදිය ඒ විදියටම හදාගත්තා. ඒ විතරක් නෙමේ හිනාවෙන, ඇවිදින වේගය පවා ඒ ගානටම ගෙනාවා. හරක් පැටියා කිසිම වෙලාවක විශාල පිරිසක් ඉන්න තැන්වල කිසිම දේකට මුල පුරන්න ගියේ නෑ, හරි හෝ වැරදි සාධාරණ හෝ අසාධාරණ එතැන තියන කිසිම දෙයක් වෙනස් කරන්න ගියේ නෑ. යමක් කීවා නම් හැමෝම කැමති දෙයක් තමයි කීවේ. යාළුවෝ ටික ඔක්කම පිස්සු නටන තැනක උනත් ඌත් ඔක්කමලා කරන පිස්සු කළා මිසක් කිසිම වෙනස් පිස්සුවක් කරන්න ගියේ නෑ. මේ විදියට හරක් පැටියාව පවතින හැමතැනටම ගැළපුණා. ඉතින් ජොබ් එකක් හොයාගැනීමේ ඉඳන් විවිධ දේවල් කරගැනීමේදී ඌ විශේෂ අපහසුතාවකට පත්වුණේ නෑ. එහෙම දිනන අවස්ථාවල ඌට උගේ අම්මායි තාත්තායි ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. තමන්ව මේ වගේ තත්වයකට ගේන්න මහන්සිවීම ගැන. ජීවත්වීමේ පහසු මාර්ගය පෙන්වීම ගැන. ඒ එක්කම අම්මලා තාත්තලා ජීවත් උන ආගම ජාතිය, ගමේ කවුරුත් ජිවත් උන පොදු රටාව ගැනම ඌට ලොකු ආඩම්බරයක් ඇතිවුණා. සමහර වෙලාවට ඌ ඒක පෙන්නන් නැතිව හිත යට තියා ගත්තා.
හරක් පැටියා ලෝකය තේරුම් ගත්තේ බහුතරය යන දිසාවෙන්. ඒ නිසා ඌට වැරදුණේ ඔක්කෝටම වරදින කොටයි, තනිව ලැජ්ජා වීමට දෙයක් උනේ නෑ. ජනාධිපතිවරු තෝරාගැනීමේ ඉඳන් කසාදය දක්වා ඌට සිද්දවෙන්නේ ඔක්කෝටම වෙන වැරදියි. ඒ නිසා උගේ ජීවිතයේ ඌ තනිව වැරදිකාරයෙක් උන අවස්ථා හරිම අඩුයි. මේ නිසා සාමාන්යයෙන් බහුතරය ඌව හඳුනාගෙන තිබුණේ හොඳ එකෙක් විදියට. මොකද ඌ පෙනෙන්නට තරම් වරදක් සමාජයට කරලා නෑ. හරක් පැටියා දේවල්වල හොඳ නරක උස් පහත්කම් මැන්නේත් විශාල පිරිසට අනුවයි: දොස්තර මැන්නේ ලෙඩුන් සංඛ්යාවෙන්, ගුරුවරයා නැත්නම් පාඨමාලාව මැන්නේ ශිෂ්යයන් සංඛ්යාවෙන්, නාට්ය මැන්නේ පේ්රක්ෂකයන් සංඛ්යාවෙන්, මිනිහෙක් මැන්නේ ඒ මිනිහා වටා ඉන්න ඔලූ ගෙඩි ගාණෙන් නැත්නම් මොනවා හරි ඒ මිනිහාට තියන දේවල්වල ප්රමාණයෙන්. නැත්නම් වැඩි දෙනෙක් ඒ මිනිහා ගැන කියන දෙයින්. ඕනෑම තැනකට ගියොත් උගේ ඇහැ නිතරම යන්නේ මිනිස්සු ගාන, වාහන ගාන, පුටු ගානට.මිනිහෙකු වටා ඒ් දෙවල් ගොඩ ගැහෙන්නේ ඇයි කියන එක ඌට කවදාවත් හිතුන් නෑ.
ඔන්න හරක් පැටියා උගේ ජීවිතයේ යම් තීරණාත්මක තැනකට ආවේ ඌට ඡන්දය දෙන්න වෙන කොටයි. දේශපාලනය සමාජය ගැන විවිධාකාර මතිමතාන්තර ගොඩක් මැදට ඌ දන්නෙම නැතිව ගිහිං ඇදගෙන වැටිලා තිබුණා. සමහරවිට එහෙම වෙන්නෙත් නෑ අනිත් අයට වගේ ඌටත් ෆේස් බුක් එකක් ඕනෑ උනේ නැත්නම්. ඌව පුහුණු කළ රටාවට අනුව සංකීර්ණ දේවල් පරස්පර දේවල්, හොඳ ඇතුළේ නරක, නරක ඇතුළේ හොඳ වගේ ව්යාකූලතා අහුවෙන් නෑ. ඊටත් වඩා ඌ මේතාක් කිසිම දෙයක් තනිව තේරුම් ගන්න ගියෙත් නෑ. ඌට ඔබව වෙනම තේරුම් ගන්න බෑ. ඌ ඔබව තේරුම් ගන්නේ ඔක්කෝම හරක් ඔබව තේරුම් ගන්න විදියටමයි. ඔබ ඌට තේරෙන විදියට ඉන්න ඕනෑ. සුද්දායි, දෙමළායි, හම්බයයි උනත් ඌට තේරෙන විදියටයි ඉන්න ඕනෑ. ඉතින් ඌ කොහොමද මෙන්න මේවා තේරුම් ගන්නේ? ‘ඇමරිකානු අධිරාජ්යවාදය ශ්රී ලංකාව ආක්රමණය කරයි‘: ඇමරිකාව කියන්නේ මොකක්ද? අධිරාජ්යවාදය කියන්නේ මොකක්ද? ඇමරිකානු අධිරාජ්යවාදය ශ්රී ලංකාව ආක්රමණය කරනවා කියන්නේ මොකක්ද? ඊළඟට ‘සිංහල බෞද්ධ ජාතිවාදය‘:ජාතිවාදය කියන්නේ මොකක්ද? සිංහල බෞද්ධයා කියන්නේ කවුද? සිංහල බෞද්ධ ජාතිවාදය කියන්නේ මොකක්ද?, ‘ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද?‘, ‘කලාව කියන්නේ මොකක්ද?‘, ඔබ ටිකක් හිතන්න මෙන්න මේ වගේ දේවල්වල යථාර්ථය ඌ මෙතෙක් පුරුදු වී ඇති රටාවෙන් පිට ස්වාධීනව ගිහිං හොයා ගන්නේ කොහොමද? ඌ ඔය වචනවල තේරුම් හැදුණ ඉතිහාසය හොයාගෙන යයිද? ඊළඟට ඒවා එක්ක තවත් විශාල චරිත සංඛ්යාවක නම් ඌ ඉදිරියට එන්න පටන් ගත්තා. රනිල් වික්රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්රීපාල සිරිසේන, විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, එදිරිවීර සරච්චන්ද්ර, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර, ජුලංපිටියේ අමරේ … මේ මිනිස්සු කවුද? හරක් පැටියා මේ අයව හරියටම තේරුම් ගන්නේ කොහොමද? ජේවීපී, යූඇන්පී කියන්නේ මොනවාද? හරක් පැටියා මේ කතිකාවල්වලට සම්බන්ධ වෙලා අවසානයේ පැත්තක් ගන්නේ කොහොමද? ඌව පුරුදු කළ ක්රමයට අනුව නම් ඒ ඒ අවස්ථාවල තමන් අඳුනන සහ අවට ඉන්න එවුන් වැඩිපුරම ගන්නා වඩාත් ආරක්ෂාකාරී අදහස උගේ අදහසයි. හරි ගියොත් එහෙමයි, වැරදුණොත් ඔක්කොටම. තමන්ව අවදානමට දමමින් තනියම ඇත්ත නැත්ත ගැඹුරින් හෙවීම වැනි බරපතළ වැඩක් හරක් පැටියා කවදාවත් කරලා තිබුණ්නෑ. අනිත් අතට හරක් පැටියාට ඒ වෙනකොටත් විශාල හරක් රැලක් එක්ක ඉහළට යාමට අරඹා ඇති මාරාන්තික ගමනත් එක්ක ගත්තාම, මේ වගේ දේවල්වල හරි වැරදි යථාර්ථය අධ්යයනය කර කර ඉන්න වෙලාවක් තියනවා කියලා ඔබ හිතනවාද? එහෙම හොයාගත්තත් ඒ අනුව හරක් පැටියා තමාගේ රටාව වෙනස් කරගන්න සූදානම්ද? මේවාට සම්බන්ධ වී ඡන්දය දෙන්න හරක් පැටියාට සාධාරණ පදනමක් හොයා ගන්න පුළුවන්ද?
හැබැයි ඔබට හරක් පැටියාව යොදාගන්න පුළුවන් දේවල් වගේකුත් තියනවා. සිල්ලර අත්උදවුවලට, මළගෙවල්වල නිදීමැරීමට, මගුල් ගෙවල් වගේ තැන්වල පිරිස පෙන්වන්න ඔන්න ඌ හොඳයි. ඊට අමතරව දරුවො හදලා කසාදයක් කරගෙන ඔය කියපු වැඩ ටිකත් එක්ක පොඩි සෙක්ස් පාරකුත් කරගෙන ඉන්නත් ඌ නරකම නෑ. හැබැයි ආදරය, විප්ලවය වගේ සංවේදී සහ පෙරලිකාරී දේවල්වලට ඌව ගන්නවානම් කල්පනාවෙන්. ඒ අයි? හරක් පැටියා ඔබට බොබ් මාලි වගේ, චේ වගේ, වීර පුරන් අප්පු වගේ පෙනුණත් ශේක්ෂිපියර්, ටොල්ස්ටොයි කෆ්කා වගේ පෙනුණත් මරු කොල්ලෙක්, අපේ එකෙක්, අහිංසකයෙන් විදියට පෙනුණත් පට්ට රැඩිකල් බොහිමියානුවෙක්, ලස්සනට අඳින වැදගත් සීරියස් පොරක් විදියට පෙනුණත්, ආචාර්ය මහාචාර්ය උපාධි ගහලා හිටියත් එක්තරා පැහැදිලි තැනකින් ඌ මිනිහෙක් විදියට අවසන් වෙනවා. ඒ ඌව හදපු හැටි ඉක්මවා යාමට බැරි ‘සමාජය මට කුමක් කියයිද‘ කියන බයයි. හරක් පැටියාට කවදාවත් තේරුණේ නැති දේ නම් මේ බහුතරය කියනා මහා ජනතාව කියන්නේ කවුද කියන එක. ඒක නිර්මාණය උනේ තමා වගේම හරක් පැටවුන් ගොඩගැහිලා බව. ඌ හිතුවේ ඒක ඌට වඩා බලවත් උන්ගෙන් හැදිලා කියලා. ඒ මහා විශාල හරක් ගොඬේ විනිශ්චයට මුහුණ දෙන්න ඌට කිසිම ගටක් නෑ. උගේ ගැහැනිය තෝරා ගැනීමේ ඉඳන් දරුවන් හැදීම දක්වා ඔක්කම තීරණය වෙන්නේ අන්න ඒ බිය උඩයි. යම් විදියකින් ඔබ හරක් පැටියාව ඇසුරු කරන්න ගියොත් කල්පනාකාරී විය යුතු තැන අන්න එතැනයි. මෙන්න මෙතැනදී ඔබට හරක් පැටියා කරන කියන දේවල්වලින් අල්ලගන්න අමාරු නම් ඌ නොකරන නොකියන, නිහඬවන පලායන තැන්වලින් හොයාගන්න වෙනවා. ‘සමාජය මට කුමක් කියයිද’ කියන උගේ මරණයේ රේඛාව හරියටම තියන තැන. ඌ ඉතා සූක්ෂ්ම විදියට ඒක වහගෙන ඉන්න නිසා ඔබ ද ඉතා සූක්ෂම නොවුණොත් ඒක හොයා ගන්න අමාරුයි. හරක් පැටියා එතැනින් අවසන්. ‘සමාජය මට කුමක් කියයිද?
ධනංජය කරුණාරත්න
මුල්වරට 10/22/2015 රාවය පුවත්පතේ පළවිය.
Comments
Post a Comment